Monday, December 5, 2011

තවත් පරිවර්ථනයක් දොරට වැඩි වගයි...


බට කවුරුන් විශ්වාසද? ඇය ඔහු කෙරේ තැබූ විශ්වාසයට කුමක් සිදුවිනිද?. ඔහු ඇයට පැවසූයේ කුමක් ද? වරදෙහි බැඳීමේ ළඳුන්ගේ සහජ දුර්වලතාවය දඩමීමා කරගත් ඔහු නිදැල්ලේ තවමත් ගොදුරු සොයයි. අසරණ ඇයට සත්‍ය වැටහෙන විට ඇය ප්‍රමාදය. ඇය මේ විඳින්නේ දෙමාපිය වැඩිහිටියන්ට සවන් නොදීමේ විපාකද?. නොඑසේ නම් මේ ඇගේ දෛවයද? වඩාත් නිවැරදිව කියන්නේ නම් මේ දිගහැරෙන්නේ ඇය වැනි අසරණියන්ගේ පොදු ඉරණමේ හංස ගීතයද විය හැක. කතාව ගලා යන්නේ ඒ අයුරිනි.

මිනිසාගේ පරම ඥාතියා විශ්වාසයයි. එහෙත් ඒ ඥාතිත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්නා සල්ලාලයකුගේ ග්‍රහණයට නතු වන මල් කැකුලක් අකලට නටුවෙන් ගිලිහී වැටීම වාස්තවිකය කරගත් මේ සිනමා සිත්තම මඟින් ජීවිතය, ආදරය, ලිංගිකත්වය, විශ්වාසය, සමාජ සම්බන්ධතා හා මිනිස් මනස සම්බන්ධයෙන් නව මානයක් අපට පෙන්වාදෙයි. හුදු ප්‍රබන්ධ ප්‍රලාපයකට වඩා අපේ එදිනෙදා ජීවිතයට බද්ධ වූ යතාර්ථයක් මේ සිනමා පටය පුරාම විද්‍යමාන වෙයි.

විශේෂයෙන් ම යෞවනයට පියනගන නව යෞවනියන්ට සිතන්නට යමක් ඉතිරි කරන මේ සුවිශේෂී සිනමා පටය තරුණයන්ට සහ දෙමව්පියන්ටත් එමෙන්ම සමස්ථ සමාජයටත් වටිනා ආදර්ශයක් ඉතිරි කරන බව නම් ඉඳුරාම කිව යුතුය. එක් අතකින් මෙවන් නිර්මාණයක් හොලිවුඩයෙන් බිහිවීමත් කිසියම් විශේෂ සිදුවීමක් ලෙස හැඳින්විය හැකියි. 

වත්මන් තාක්ෂණික ලෝකය තුල පුද්ගල සම්භන්ධතා වෙළඳ භාණ්ඩයක් බවට පත් වී ඇති සමයෙක එහි ඇති අයහපත පිළිබඳව මොනවට පැහැදිළි කරන සිනමා සිත්තමකි මේ. අද ප්‍රචලිතව ඇති සමාජ ජාල නිසා කෙතරම් නම් මෙවැනි ඍජු අපරාධ සහ වක්‍ර ලෙස ජීවිත අවුල් වීම් සිදුවී ඇත් ද. අන්තර් ජාලය සුරක්ෂිත තැනක් නොවන වගත් එහි දී ඔබ හා සම්භන්ධ වන පුද්ගලයින්ගේ විශ්වාසවන්ත භාවය පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු බවත් මේ නිර්මාණය අපට පසක් කර දෙයි. වැඩි අටුවා ටීකා දී ඔබව වෙහෙස කරවිය යුතු නැත. මේ සිනමා පටය සිංහල උපසිරැසි සහිතව නරඹා එහි ප්‍රස්තුතය තේරුම් ගැනීම ඔබට භාර කර මම මෙතැනින් නවතිමි.

චිත්‍රපටය සහ උපසිරැස මෙතැනින්

විශේෂ ස්තූතිය අමිල විජේතුංග සහෘදයාට සහ බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට.

මේ ලිපිය හා සබැඳෙන පර්යේෂනාත්මක වාර්ථාවක් මෙතැනින්. මේ සම්භන්ධයෙන් සියලුම හිමිකම් හා අයිතිවාසිකම් එම ලිපියේ ලියුම්කරු සතුය.

Sunday, October 23, 2011

අසෙනි...


ඇතුගල පව්ව එපිටින් රැඳි මේකුළු පව්වකින්
මුළු අහසම එකම යායක්
ලෙසින් දිස්වෙයි අඳුන් තැවරූ මෙන්...
මනු ලොවෙන් දෙව් ලොව සීමාකරනුමෙන්
දිව සළු සදිසි සුදු මිහිදුම් වලා රැලි
මතින් මිණි පබළුවක් මෙන් දිලෙයි ඇතුගල බුදු රුව...
මහපොළොව බොහෝ කල් 
බලා හුන් වැසි බිඳක් 
අහස් කුස සිසාරා මහපොළොව
සිප ගැනින අසෙනි වැස්සක් විලස...
-ටී.බී-



Sunday, October 16, 2011

ඉවසන දනා...


ඉවසීම ප්‍රඥ්ඥාවන්තයෙකුට සාක්ෂාත් කල හැකි පරිචිත ලක්ෂණයකි...
ඉවසීම සැනසීමද, රුපුන් නසන ජය ධජය ද වන්නේමය,
ඉඳින් අප ඉවසමු, කෙතරම් කලක් ඉවසමු ද...?
මහා දිගු කලක් නොව! 
අප මේ මොහොත පමණක් ඉවසමු...
මන්ද යත් අප ජීවත් වන්නේ මේ මොහොත පමණක් වන බැවින්
ගෙවුන මොහොතේ ඔබට මට ජීවත් විය නොහැක...
ඊලඟ මොහොත අප ජීවත් වේ යැයි කාට නම් කිව හැකි ද...?
ඉඳින් අප ජීවත් වන මේ මොහොත පමණක් ඉවසීමෙන් ජීවත් වෙමු,
එයින් සැනසුමක් ලැබෙන්නේ මතුවට වත් අතීතයට වත් නොව,
අප ජීවත් වන මේ මොහොතටමය...   

Tuesday, October 4, 2011

වාහනයෙන් ම අසා දැනගන්න II (OBD)



පසුගිය ලිපියෙන් අප රථ වාහන වල යාන්ත්‍රික කොටස් ඉලෙක්ට්‍රොනික කොටස් වලින් ප්‍රතිස්ථාපනය වූ අයුරු සාකච්ඡා කලෙමු. එහිදී සඳහන් කල පරිදි එම සංකීර්ණ කොටස් වල ඇතිවන දෝශ හඳුනාගන්නේ කෙසේද යන්නත් ඒවා නිවැරදි කරන්නේ කෙසේද යන්නත් සරළව මේ ලිපියෙන් විමසා බලමු. ඉහත රූපසටහනේ දක්වා ඇත්තේ මේ හා සම්භන්ධ වන කොටස් වල දළ සටහනකි.

එහි දැක්වෙන පරිදි මෙම සංසිද්ධියේදී, ඉලෙක්ට්‍රොණික කොටස් හා සම්භන්ධ සංවේදක (Sensor) මඟින් නිරතුරුවම ලැබෙන දත්තයන් ප්‍රධාන පාලන ඒකකයට (ECU) සපයයි. එහිදී මෙම දත්ත සකසා බලා කිසියම් වෙනස් කමක් සහිත දත්ත හඳුනාගත හොත් ඒ පිළිබඳව කිසියම් සටහන්ක් මෙම ප්‍රධාන පාලන ඒකකයේ ඇති මතකයේ සටහන් කරයි. කිසියම් සංවේදකයක් මඟින් දත්ත ලැබෙන්නේ නැත්නම් ඒ පිළිබඳවද සටහන් කරයි. එවන් අවස්ථාවකදී ඒ පිළිබඳව ඔබව පූර්ව වශයෙන් දැනුවත් කිරීමට, ඔබේ වාහනයේ දර්ශක පුවරුවේ (Combination Meter) ඇති දෝශ ඇඟවීමේ බල්බය (MIL) දැල්වේ.

එහිදී ඔබ සිදුකල යුත්තේ පිරික්සුම් උපකරණයක් (OBD Scanner) ඔබේ වාහනය හා සම්භන්ධ කර ඔබේ වාහනයේ ප්‍රධාන පාලන ඒකකයේ ඇති මතකය පරිලෝකනය (Scan) කර බැලීමයි. ප්‍රධාන පාලන ඒකකයේ මතකයේ ගබඩා කර ඇති තොරතුරු අනුව පිරික්සුම් උපකරණය ඔබට කිසියම් කේතයක් (Error Code) පෙන්නුම් කරයි. එහිදී එම කේතයට අදාල දෝශය ඒ සඳහා වූ වගුවක් මඟින් බලාගත හැක. දෝශ හඳුනා ගැනීමේ පටිපාටිය සැකෙවින් මෙසේය. සමහර විට ඒ ඒ වාහනයට අදාල ලෙස කිසියම් විශේෂ පියවරයන් මේ සඳහා එකතුවිය හැක. තවද දෝශය හඳුනාගත් පසු අවශ්‍ය අළුත්වැඩියාව සිදුකර පසුව වාහනයේ ප්‍රධාන පාලන ඒකකයේ මතකයෙන් එම දෝශයය මකා දැමිය යුතුය. නැතහොත් රථය තවදුරටත් දෝශ සහිතවම ක්‍රියාත්මක විය හැක. මෙම කටයුත්ත ද පිරික්සුම් උපකරණය මඟින් ම පහසුවෙන් සිදුකල හැක.

 දැන් භාවිතා වන OBD පිරික්සුම් උපකරණයක් හා එහි - කූරු 16 සම්මත පුං සම්භන්ධකය (16 pin standerd male conector)



පිරික්සුම් උපකරණය සවිකිරීම සඳහා රථයේ ඇති ඡායා සම්භන්ධකය. (බොහෝ විට මෙය රථයේ ඉදිරිපස පුවරුවේ යට ස්ථානගතකර ඇත )



මෙම තාක්ෂණය මුලින්ම සාමාන්‍ය නිශ්පාදන රථවාහන සඳහා භාවිතා කලේ 70 දශකයේ මැද භාගයේදී NISSAN (එවකට DATSON ලෙස හැඳින්වින) සමාගම විසිනි. ඒ ඔවුන්ගේ 280Z මෝටර් රථ මාදිළිය සඳහා ය. මුල්කාලයේදී මෙම තාක්ෂණය නිශ්පාදකයාට අභිමත (proprietary) අයුරින් භාවිත කල අතර 1988 වසරේදී මෝටර් රථ ඉංජිනේරු සංගමය (SAE - Society of Automotive Engineering ) විසින් මෙම තාක්ෂණය ප්‍රමිතිකරණය කොට (Standardization) අද භාවිතා වන සම්මත කූරු 16 සම්භන්ධකය සහ එමගින් දත්ත හුවමාරුකිරීමේ කෙටුම්පත (Communication   Protocol) සම්මත කරන ලදී (පරිගණක වල දත්ත හුවමාරු කිරීමට භාවිතා වන TCP/IP කෙටුම්පත වැනි). වත්මන් මෝටර් රථ නිශ්පාදකයින් සිය අභිමතය පරිදි සම්මත දත්ත හුවමාරු කෙටුම්පත් 5ක් භාවිතා කරයි.

මෙම තාක්ෂණයේ වර්ථමාන තත්වය OBD-II ලෙස හඳුන්වන අතර එහි JOBD, EOBD... ආදී වශයෙන් ලෝකයේ විවිධ කලාප වලට ආවේනික වූ විචලනයන් දක්නට ලැබේ. තවද සම්මත දත්ත වලට අමතරව නිශ්පාදකයාට ආවේනික දත්ත (Manufacturer Specific Data) ලබාදෙන අයුරින් අද වන විට මෙම තාක්ෂණය නවීකරණය වී ඇත. ව්‍යාපාරික උපක්‍රමයක් ලෙස හඳුනාගත හැකි එම තත්වය නිසා, සම්මත විධි ක්‍රම තිබුනත්, විවිධ රථ වාහන සඳහා විවිද පිරික්සුම් උපකරණ හා මිල අධික මෘදුකාංග භාවිතා කිරීමට සිදුවීම මෙහි ඇති අවාසනාවන්ත තත්වයකි. 

බොහෝදෙනාට පහුවෙන් තේරුම් ගැනීම සඳහා  ලිපිය ඉතාම සරළවත්, එහෙත් එහි මූලික හරයට හානියක් නොවන අන්දමටත් ඉදිරිපත් කිරීමටත් හැකිතාක් උත්සාහ කලෙමි. කෙසේ වෙතත් ඔබට වැඩිදුර කරුණු දැනගැනීමට අවශ්‍ය නම් ටීකාවක් (Comment) මඟින් ඒ පිළිබඳව විමසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Sunday, September 25, 2011

වාහනයෙන් ම අසා දැනගන්න I (OBD)



බේ වාහනයේ කිසියම් කාර්මික දෝශයක් ඇති බව ඔබ දැනගන්නේ කෙසේ ද...? ඔබේ වාහනය නිවැරදි ක්‍රියාකාරී තත්වයේ පවතිනවාදැයි ඔබ සැක හැර දැනගන්නේ කෙසේද...? ඔබේ වාහනයේ ඇති දෝශය නිවැරදිවම නිරාකරනය කිරීමට ඔබ කුමක් කල යුතු ද...? රථ වාහන භාවිතා කරන ඕනෑම අයෙකුට මෙවැනි ප්‍රශ්ණ පවතී. මෙම ගැටළු විසඳා ගැනීමේ සාම්ප්‍රදායික ක්‍රමය වන්නේ කාර්මිකයෙකු ගේ සහය ලබාගැනීමයි. නමුත් සමහර විට ඔබේ වාහනයේ ඇති දෝශ ඔබටම ඔබේ වාහනයෙන් ම අසා දැනගැනීමට හැකි නම්...,!?

සාමාන්‍ය රථ වාහන වල බොහෝ විට ඇත්තේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයකි. විදුලි හෝ විද්‍යුත් පද්ධති මඟින් ක්‍රියාකරන කොටස් සාමාන්‍ය වාහන වල භාවිතා වන්නේ අඩු වශයෙනි, භාවිතා වූවත් ඒවා රථයේ මූලික ක්‍රියාකාරීත්වයට ඍජුවම සම්භන්ධ වන පද්ධති නොවේ. එවැනි සංකීර්ණ පද්ධති නොමැති බැවින් මෙම වාහන වල සිදුවන දෝශ හඳුනාගැනීමටත්, ඒවා නිවැරදි කිරීමත් පළපුරුදු කාර්මිකයෙකුට ඉතාම පහසුවෙන් සිදුකල හැක.

නමුත් පසුකාලීනව රථවාහන වල කාර්යක්ෂම තාව ඉහල නැංවීමට උත්සාහ කිරීමේදී යාන්ත්‍රික පද්ධති ඒ සඳහා භාධකයක් බව හඳුනාගත් රථවාහන නිශ්පාදකයින්, තම රථවාහන සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධති භාවිතා කිරීමට පෙළඹුනි. ඉහල ඉන්ධන පිරිමැස්මක් හා මනා ක්‍රියාකාරීත්වයක් ලබාගනුවස් මෙතෙක් භාවිතා වූ බොහෝ වැදගත් යාන්ත්‍රික පද්ධති ඉලෙක්ට්‍රොනික පද්ධති වලින් ප්‍රතිස්ථාපනය විය.මේ සමඟම ඇතිවූ ගැටළුව නම් මෙම සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පද්ධති වල කිසියම් දෝශයක් ඇතිවුව හොත් ඒවා හඳුනාගන්නේ කෙසේද යන්නයි. මන්ද යත් යාන්ත්‍රික පද්ධති වල මෙන් නොව ඉලෙක්ට්‍රොනික පද්ධති වල ක්‍රියාකාරීත්වය පියවි ඇසට නොපෙනීමයි. එබැවින් කාර්මිකයෙකුට ඍජුවම පද්ධතිය දෙස බලා දෝශය හඳුනා හඳුනාගත නොහැක. 

TOYOTA 5SFE එන්ජිමක ඉලෙක්ට්‍රොනික පාලන පද්ධතිය(ECU). 
එමෙන්ම යාන්ත්‍රික කොටස් ඉලෙක්ට්‍රොනික කොටස් වලින් ප්‍රතිස්ථාපනය වීමේදී මේ සෑම කොටසක්ම යාමනය කිරීම මධ්‍යම පාලන ඒකකයකට භාර විය. මෙය කුඩා පරිගණකයක් තරම් වැඩකොටසක් ඉටු කරන බැවින්, එනම් මූලික වශයෙන්ම දත්ත ලබාගෙන ඒවා සකසා තොරතුරු ලබාදීම සිදුකරන බැවින් මෙම ඒකකය රථවාහනයක පරිගණකය (On-board Computer) ලෙස හෝ ඉලෙක්ට්‍රොනික පාලන ඒකකය (Electronic Control Unit) ලෙස හඳුන්වයි. ඉහතින් දක්වා ඇත්තේ 5SFE එන්ජිම භාවිතා වන TOYOTA Celica මෝටර් රථයක ඇති එම  ඉලෙක්ට්‍රොනික පාලන ඒකකයය. මෙම ඒකකය වාහනයේ එන්ජිමේ හා විවිධතැන්න් වල ඇති සංවේදක (Sensor) මඟින් නිරන්තරයෙන්ම දත්ත ලබාගන්නා අතර ඒවා ඉතා ඉක්මනින් සකසා අදාල ක්‍රියාකාරකය (Actuator) වෙත අවශ්‍ය තොරතුරු සපයයි.

උදාහරණයක් ලෙස, ඔබ නවීන වාහනයක් පදවන අවස්ථාව සැලකිල්ලට ගමු. සාමාන්‍ය වාහනයක මෙන්ම මෙහිදීද ඔබ අඩු වැඩි වශයෙන් ත්වරකය (Accelerator) පෑගීම සිදුකරයි. නමුත් සාමාන්‍ය වාහන වල මෙන් නවීන වාහන වල ඔබ ත්වරකය (Accelerator) පාගන විටම එන්ජිමට සැපයෙන ඉන්ධන ප්‍රමාණය කෙලින්ම වැඩි වන්නේ නැත. නවීන වාහන වල ඔබ ත්වරකය (Accelerator) පාගන විට, ත්වරකයේ පිහිටීම (Throttle Position), වාහනයේ වේගය (Vehicle Speed), එන්ජිමට සැපයෙන ඔක්සිජන්  වායු ප්‍රමාණය (Oxygen concentration) ආදී බොහෝ දත්ත පෙර කී ඉලෙක්ට්‍රොනික පාලන පද්ධතිය ලබාගෙන කඩිනමින් ඒවා සකසා කොයිතරම් ඉන්ධන ප්‍රමාණයක් වැඩි කල යුතුද යන තොරතුර වාහනයේ ඉන්ධන පද්ධතිය වෙත ලබා දෙයි. මේ සියල්ල ඔබට නොදැනීම ප්‍රමාදයකින් තොරවම ඔබ ත්වරකය (Accelerator) පාගන විටම සිදුවේ. පෙර සඳහන් කල පරිදි මෙමඟින් සාමාන්‍ය වාහන වලට වඩා නවීන වාහන වල ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි බව ඔබට වැටහෙනු ඇත.

OBD පිරික්සුම් උපකරණයක්

මෙම පද්ධති වල දෝශ හඳුනාගැනීමට භාවිතා කරන ක්‍රමය "On-Board Diagnostic" (OBD) ලෙස හඳුන්වයි. ලිපිය ඉතා දීර්ඝ (එමෙන්ම නීරස) වන නිසාත්, වටහාගැනීමේ පහසුව පිණිසත් මෙවැනි සංකීර්ණ පද්ධතියක දෝශ හඳුනාගන්නේ කෙසේද යන වගත් ඒවා නිවැරදි කරගන්නේ කෙසේද යන වගත් අප මීලඟ ලිපියෙන් සාකච්චා කර බලමු.

Monday, August 22, 2011

                                               ඉඩෝරය...

නිරුදක මහ පොලොව ඉරිතලා
නිලට දිලුන කෙත්වතු පඬු පැහැ වෙලා
දනන් තුඩ තුඩ රැඳුන හසරැලි සැඟවිලා
සතා සිව්පා කුරුළු කොබෙයි මුළුගැන්විලා
එහෙත්...
දිනිසුරු නැත කිසිත් කරුණා
නුඹ ගැබ නොමැත මේකුළු අරා
නිශාව රජයයි තුරු කැළ නොබා
නල නැති ලොවම නිසලයි සදා 
නවතින්න...
දිනිඳු ඔබැ රුව සඟවාගන්න
මද නල අහසෙ මේකුළු පුරවාලන්න
හැම සතුනගෙම පවස සනහන්න
සොබා දිනිතිය වැසි බිඳක් සලන්න...
-ටී.බී-


Monday, August 15, 2011

ක්ෂුද්‍ර තරංග උඳුන (Microwave Oven)



ක්
ෂුද්‍ර තරංග උඳුන බොහෝ විට ඔබ එදිනෙදා භාවිතයේදී ආහාර රත්කරගැනීම සඳහා භාවිතා කරයි. නමුත් මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ මදකට සිතා බැලුවාද?
ක්ෂුද්‍ර තරංග උඳුනක න්‍යාය වන්නේ ඔබේ ආහාරයේ ඇති ප්‍රධාන වශයෙන් ජල අණු අනුනාද වීමට සලස්වා එමඟින් තාපය නිපදවීමයි. කෘතකම්පනයේ විශේෂ අවස්ථාවක් වන අනුනාදය නැමති සංසිද්ධිය ඇතිවන අයුරු සරළව දක්වන්නේ නම් මෙහිදී සිදුවන්නේ, ක්ෂුද්‍ර තරංගයේ සංඛ්‍යාතයට අනුව ජල අණු චලනය වීමයි, මෙසේ 'අනුව චලනය වීම' නැතහොත් 'අනුව නාද වීම' අනුනාදය ලෙස හඳුන්වයි.

මේ සිද්ධිය ඔබ එදිනෙදා අත්විඳ ඇතුවාට සැක නැත. උදාහරණයක් ලෙස පාරේ වාහනයක් යන විට නිවසේ ඇති ජනෙල් වීදුරු කම්පනය වනවා ඔබ දැක ඇත. එය සිදුවන්නේ අනුනාදය නිසයි. එනම් වාහනයෙන් නැගෙන කිසියම් සංඛ්‍යාතයක් අනුව වීදුරුව කම්පනය වීමයි. වස්තූන් මෙසේ අනුව නාද වන සංඛ්‍යාතය එම වස්තුවේ ස්වභාවික සංඛ්‍යාතය ලෙස හඳුන්වයි.

මේ සඳහා මෙම උඳුන් වල භාවිතා කරන්නේ සංඛ්‍යාතය 2.5GHz  පමන වන ක්ෂුද්‍ර තරංගයි. ඉහතින් දක්වා ඇති විද්‍යුත් චුම්භක වර්ණාවලියේ පරිදි මේ තරංග වල තරංග ආයාමය කුහුඹුවෙක් පමන (1cm ට අඩු ) වේ. එකී වත්කම් ඇති ක්ෂුද්‍ර තරංගම මේ සඳහා විශේෂයෙන් යොදාගෙන ඇත්තේ මේ සංඛ්‍යාතයේදී ජල අනු අනුනාද වන නිසාත්, ප්ලාස්ටික් වීදුරු සෙරැමික්.. අනු මෙම සංඛ්‍යාතයේදී අනුනාද නොවන නිසාත් ය. සරලව දක්වන්නේ නම් එම සංඛ්‍යාතය භාවිතා කිරීම නිසා ආහාරය රත්වන අතර ආහාරය අඩංගු භාජනය රත්වන්නේ නැත. එසේ ජල අනු පරමාණුක චලිතයකට ලක්වීම නිසා තාපය ලෙස ශක්තිය මුදාහරී. ඕනෑම පදාර්ථයක් 'රත්වෙනවා' යැයි කියන්නේ එහි ඇති අනු වල චලිතය වැඩි වීමයි.

උදාහරණයක් ලෙස ඔබ යකඩයක් ගිනිදැල්ලකට අල්ලා රත්කරනවා යැයි සිතන්න. එහිදී ගින්න මඟින් යකඩයේ අනු වෙතට තාප ශක්තිය ලබාදෙයි. ඒ ශක්තිය ලබාගන්නා යකඩ අනු සිය චලිත වේගය වැඩිකරගනී (ඕනෑම  පදාර්ථයක අනු සෑම විටම චලනය වෙමින් පවතී. බුදුරජානන් වහන්සේ දේශණා කර ඇති පරිදි වස්තූන්ගේ අනිත්‍ය ස්වභාවය එනම් නිශ්චිත අයුරකින් පවතින්නේ නැති බව මේ මඟින් සක්සුදක් සේ පැහැදිලි වේ. ඔබ යකඩයක්, ගලක්, මිනිසෙක්, වාහනයක්... ලෙස හඳුනාගන්නා එනම් සඥාව උපදවාගන්නා භෞතික වස්තූන් කිසිවිටෙකත් නිශ්චිත අයුරකින් නොපවතී. ඒවායේ තැනුම් ඒකකයේ සිටම ඒවා නිතර වෙනස් වෙමින් චලනය වෙමින් නිශ්චිත නොවී එනම් අනිත්‍යව පවතී. එනම් ඔබ මේ මොහොතේ දුටු යකඩය, ගල, මිනිසා, වාහනය... ඔබට නැවත කිසිදාක දක්නට නොලැබෙන අතර එහි මේ ක්ෂණයේ තිබූ තත්වයට වඩා වෙනස් ආකාරයක් ඔබට ඊලඟ ක්ෂණයේදී දක්නට ලැබෙයි. නමුත් අප මේ භෞතික වස්තු උපාදානය කරගන්නා සැටිත්, සිතේ අනිත්‍ය ස්වභාවයත් වැනි ලෝකෝත්තර වූ කාරනාත් මෙතැනට උපයෝගී වේ. ඒ පිළිබඳව දීර්ග වශයෙන් විස්තර කිරීම මේ ලිපියේ අරමුන නොවේ). එවිට අප යකඩය රත්වූවා යැකි කියයි. මෙහිදී යකඩ අනු වලට ශක්තිය සැපයූවේ ගින්දර මඟිනි. නමුත් ක්ෂුද්‍ර තරංග උඳුනකදී මේ සඳා ඉහත සඳහන් කල විශේෂ අනුනාද වීමේ උපක්‍රමය භාවිතා කරයි. පහත සන්නිදර්ශණය මඟින් එය තවදුරටත් වඩාත් පැහැදිළි වෙයි.

ක්ෂුද්‍ර තරංග උඳුනක තාපන මූලාවයවය වන්නේ (Magnetron) නැමති කොටසයි. මෙමගින් ඉහත සඳහන් කල ආකාරයේ ක්ෂුද්‍ර තරංග නිපදවයි. මේ සඳහා අධිවෝල්ටීයතාවක් හා චුම්භක භාවිතා කරයි. 
Magnetron උපකරණයේ පැති පෙනුම
Magnetron උපකරණයේ පිටුපස පෙනුම

Magnetron උපකරණයේ ඉදිරිපස පෙනුම
ඉහත රූපයේ දැක්වෙන්නේ මේ කොටසේ ඉදිරිපස ඇති ප්‍රතිදාන ඇන්ටෙනාවයි. මෙම කොටස මඟින් ක්ෂුද්‍ර තරංග නිකුත්වීම සිදුවේ. මෙය ආහාරය දෙසට යොමු කර ඇත. මෙහි දැක්වෙන පරිදි නිවුම් වරල් (තහඩු පතුරු මෙන් ඇති කොටස්) දෙපසින් ඇත්තේ චුම්භක දෙකකි. පැතිපෙනුම රූපයේ මැද ඇති රිදී පාට කොටස මෙහි ඇනෝඩයයි. මෙය යකඩ සිලින්ඩරයක් වන අතර මෙහි අභ්‍යන්තරයේ කුටීර වලට බෙදා ඇත. මෙහි පිටුපස පෙනුමෙහි දැක්වෙන කොටස තුල කැතෝඩය අඩංගු වේ.  විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍රයක් හරහා ඉලෙක්ට්‍රෝන චලිත වීමට සලස්වා මෙහිදී ක්ශුද්‍ර තරංග නිපදවයි.ක්ෂුද්‍ර තරංග මඟින් පිසින ලද ආහාර වල ආරක්ෂිත භාවය පිළිබඳව විවිධ මත පළවේ. කෙසේ නමුත් මේ අහාර විකිරණශීලී වීමේ ඉඩකඩ බොහෝ සෙයින් අඩුය. නුමුත් ක්ෂුද්‍ර තරංග නිසා ආහාර වල රසායණික ව්‍යුහයේ යම් යම් වෙනස්කම් සිදුවිය හැක.

Sunday, August 7, 2011

සෙනෙහස දල්වා සඳ මිණි කැන් ඇතිරූ, අපේ ගුරු දෙවිවරු...

(මේ ලිපිය ආත්ම වර්ණනාවක් යැයි ඔබට හැඟේ නම්, මෙහි හරය ඔබෙන් ගිලිහුනාහු වෙති.)
අපට මේ මහා ධරණී තලයේ දෙපයින් ඍජුව සිටගැනීමට අවශ්‍ය ශක්තිය සැපයූවේ අපේ ගුරු දෙවිවරුය. ඒ සඳහා නිවසේ 'පුබ්බාචරිය' වන දෙමව්පියන්ගේ පටන්, ප්‍රථම උපාධි පර්යේෂණ නිබන්ධනයේ අධීක්ෂක ගුරු භවතා දක්වා සෑම ගුරු දෙවිවරයෙකුගෙන් ම ලැබුන නොමසුරු දායකත්වය අමිලය අනුපමේය ය. එයිනුත් අපගේ උසස් පෙළ ගුරු දෙවිවරු අපගේ මතකයේ වෙසෙසින් සටහන් වන්නේ අපේ ජීවිතයේ කිසියම් කඩඉමක් තරණය කිරීම උදෙසා ඔවුන් අපට මග සලකුණු දක්වන හෙයිනි. 

එකී මඟ හසර අනුව යමින් අප කිසියම් කඩඉමක් තරණය කොට ජීවන දුර්ගය තරණය ඇරඹීමට පෙර අපට මඟ සළකුණු දැක්වූ එකී ගුරුදෙවි වරුන්ගේ සුවදුක් බෙදා හදාගැනීමට අප ඊයේ ඉසිඹුවක් නැවතුනෙමු...

පාසලේදී අපට භෞතික විද්‍යාව, රසායණ විද්‍යාව හා ජීව විද්‍යාව ද, ඒ සියල්ලටම වඩා අපට ජීවිතය කියාදුන් අපේ ඒ අතීත ගුරු මෑණිවරුන් පියවරුන් මුනගැසීමට එකල එකම පන්තියේ, එකම බත් පත බෙදාගත් අප මිතුරන් පස් දෙනෙක් ඊයේ ගියෙමු. 

එයින් මගේ අනෙක් මිතුරන් සිව්දෙනාම කොළඹ වෛද්‍යපීඨයේ අවසන් වසර වෛද්‍ය සිසුන් බව මා මෙහි සඳහන් කරන්නේ ඉමහත් ආඩම්බරයෙනි. තවද අප උසස් පෙල පංතියේ සිටි මිතුරන් 37දෙනාගෙන් දස දෙනෙක් පමන දැනට වෛද්‍ය සිසුන් වන අතර එයින් බහුතරය කොළඹ වෛද්‍ය පීඨයේ බවත්, කීපදෙනෙක් හැරෙන්නට ඉතුරු සි‍යළුදෙනාම ප්‍රථම උපාධිය සම්පූර්ණ කර ඇති බවත්, අනෙකුත් සෑම අයෙක්ම තම පවුලේ ව්‍යාපාරය හෝ තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් මෙහි ලා සඳහන් කරන්නේ සාඩම්බරයෙනි.

අප මුලින්ම ගියේ අපේ ජීව විද්‍යා ගුරුතුමිය වූ 'ස්වර්ණා මැඩම්' හමුවීමටය. එතුමිය දැන් විශ්‍රාමියකය. දීර්ඝ කාලයක් අප විදුහලේ සේවය කර ඇති එතුමිය මගේ අප්පච්චී උසස් පෙළ ශිෂ්‍යයෙකුව සිටි කාලයේදීත් අප පාසලේ සේවයකර ඇති බව අප්පච්චී මට පවසා ඇත. 'ස්වර්ණා මැඩම්' අපට මවක, යෙහෙලියක මෙන් ඉතා සමීපය. අපට පාසලෙන් කලින් පිටවීමට අවශ්‍ය වූ විය එතුමිය නිල වශයෙන් ම අපව පාසලෙන් පිටත් කල හැටි මට අද වාගේ මතකය. ඒ නිසාම දෝ වසර 5ට පමණ පසුවත්, මැඩම් ට අපව වෙන් වෙන් වශයෙන් මතක තිබින. අප එකිනෙකාගේ තොරතුරු විමසූ එතුමිය ඉතාමත් සතුටට පත් විය. ඇත්තෙන්ම ගුරුවරුනට ඇති අමිල වූ සතුට සිය ගෝලයින්ගේ අභිවෘද්ධිය නොවන්නේ දැ...
පාද පද්ම නමස්කාරයෙන් අප එතුමියගෙන් සමුගත්තේ රසබර මතකයන් රැසකුත්, නැවත මුනගැසෙන බලාපොරොත්තුවත් සිතෙහි දරාගෙනය.

අප මීලඟට ගියේ අපේ 12/13B2 පංතිභාර ගුරුතුමිය වූ 'මානෙල් මැඩම්' මුනගැසෙන්නටය.එතුමිය අපේ රසායන විද්‍යා ගුරුතුමියයි. සුපුරුදු සිනහවෙන්, ලෙන්ගතුකමින් අපව පිළිගත් එතුමිය, කොන්ඩය කොටට කපා සිටි අපේ එක් මිතුරෙක් දැක විශ්ම්ය මුසු හාස්‍යයෙන් කම්මුලෙහි අත තබාගන්නට විය. ඉතා දිගු වේලාවක් යටගියාව සිහි කල අප එකිනෙකාගේ තොරතුරුද එතුමිය විමසීය. ඒ දවස් වල පිපෙට්ටුවෙන් විවිධ රසායණික ද්‍රව්‍ය කලිසම් තුලට වත් කල සැටිත්, අපේ මිතුරෙක් පිපෙට්ටුවකින් භෂ්මයක් පානය කල සැටිත්, විවිධ රසායන විද්‍යා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකල හැටිත්, පන්තියේ ගුරුවරයෙක් නැතිවිට කලිසම් කකුල් මේස් දෙක අස්සේ ඔබාගෙන කොසු මිටි වලින් වෙඩි තබාගත් හැටිත් ඉතාමත් රසවත්ව සිනහ මුසු මුහුනෙන් සිහිපත් කලෙමු. මෙහිදී මගේ සිත විශ්මයට පත් කල කරුණක් වූයේ, වසර 5කට පමණ පසුවත් මැඩම් ට, අප පන්තියේ වාඩිවී සිටි පිළිවෙල පවා මතකයේ තිබීමයි. පන්තියේ මා අසුන්ගෙන සිටි තැන නිවැරදිවම එතුමිය සඳහන් කල විට මා විශ්මයට පත් උනෙමි.


තවමත් සේවයේ නියුතු එතුමිය, 2003 වසරේ අප විදුහලට පැමිණ මුලින්ම පංති භාරකාරත්වය දැරුවේ අප පංතියයි. එම පන්තිය ඉතාම සාර්ථක පංතියක් බව මා නැවතත් මතක් කල යුතු නැත. එමෙන්ම බාලිකා පාසල් වල සේවය කර අප විද්‍යාලයට පැමිණි පසු තරමක නුපුරුදු ගතියක් දැනුන බවත්, අපද කොළු ගැටයින් ලෙස කටයුතු කල අයුරුත් එතුමිය සිහිපත් කරන්නට විය. මෑතකදී අලුතෙන් පත්වීම් ලැබී ආ තරුණ ගුරුතුමියක් මුහුණ පෑ සිද්ධියක් ද අපට විතර කරන ලදී.

සෑම හමුවීමක් ම වෙන්වීමකින් කෙලවර බව තවුරු කරමින් අප මානෙල් මැඩම් ගෙන් සමුගත්තේ එතුමියගේ පාද පද්ම නමස්කාර කරමිනි. වචනයෙන් නොකීවත් අප සෑම කෙනෙකුගේම සිතේ රැඳුනේ 'ආයෙත් ඒ පාසල් කාලයට යන්නත ඇත්නම්' යන සිතුවිල්ල බව අප එකිනෙකාගේ මුහුණු වලින් පිළිඹිඹු විය...

අප මීලඟට මුනගැසුනේ අපගේ භෞතික විද්‍යා අචාර්ය තුමා වූ 'විමලරත්න සර්' ය. දුටු සැණින් ම පාද පද්ම නමස්කාර කර අප එතුමා වටකරැගෙන සිටගත්තේ නිරායාසයෙන්මය. අහෝ! එවකට කලුවන් ව තිබූ එතුමාගේ හිස සුදු පැහැයට හැරී ඇත. මෙනුමෙන් බොහෝ දුරට ගුණදාස කපුගේ ශූරීන් මෙන් වූ විමලරත්න සර්, ඉතාම නිවුන පුද්ගලයෙකි. හදවතින් ම නැගුන සිනහවෙන් අප පිළිගත් එතුමා දැන් විශ්‍රාම සුවයෙන් පසුවන බව පැවසීය. "හරීම නිදහස් පුතේ දැන් නම්, ඉතාම සැහැල්ලුවෙන් වගකීම් වලින් මිදිල නිදහසේ ඉන්නව" එතුමාගේ සුපුරුදු වාග් විලාශය මා වහාම වසර 5ක් අතීතයට රැගෙන යන ලදී.

වසර 35 ක ගුරු ජීවිතයට ආයුබෝවන් කියා ඉතාමත් සැහැල්ලුවෙන් ජීවිතයේ සැඳෑ සමය එතුමා ගත කරයි. එතුමා සඳහන් කල පරිදි පසුගිය වසර 60ට එතුමා අප විද්‍යාලයේ රැඳී නැත්තේ වසර 4ක කාලයක් පමණි, ඒ එතුමා පේරාදෙණිය සරසවියේ ගතකල වසර 4පමණි. අප විදුහලෙන් අධ්‍යාපනය ලද එතුමා පේරාදෙණිය සරසවියට ඇතුලත්ව, නැවතත් ගුරුවරයෙකු ලෙස අප විද්‍යාලයටම පැමිණ තිබේ. එවක පටන් විශ්‍රාම ගන්නා තුරුම අප විද්‍යාලයේ භෞතික විද්‍යා අචාර්ය වරයෙකු ලෙස එතුමා සේවය කර ඇත. ඒ තොරතුරු වලින් මම විශ්මයටත් සතුටටත් පත් උනෙමි.

මෙතුමා අපට භෞතික විද්‍යා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සියල්ලම එලෙසින්ම සිදුකල අතර විශය නිර්දේශයත් කිසිදු අඩුපාඩුවක් නොමැතිව සර්ව සම්පූර්ණව උසස් පෙළ විභාගයට වසරකට පමණ කලින් ආවරණය කරන ලදී. එතුමා ම සඳහන් කරන පරිදි එතුමා විශ්ව විද්‍යාලයේ සිටින කාලය තුල සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොණික විද්‍යාව තිබී නැත. නමුත් එසේ තිබියදීත් අපට උසස් පෙලට අවශ්‍ය එම කොටස් එතුමා ම අධ්‍යයනය කර  අපට ඉතාම මැනවින් පහදා දෙන ලදී. ඇත්තෙන් ම මට භෞතික විද්‍යාව පිළිබඳ උනන්දුවක් ඇතිවූයේ එතුමා නිසාය. එතුමාගේ සටහනේ ඇති පැහැදිළි බව නිසා මා භෞතික විද්‍යාව සඳහා පිටු 400 ක වෙනමම සුදු පිට කවරයක් දැමූ පොතක් භාවිතා කලෙමි. එහි '05.05.05' දිනය සටහන් කල බවද මට අද මෙන් මතකය. ඒ පොත අද ද මා සතුව සුරක්ෂිතව ඇත.

දිනක් අප භෞතික විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකමකදී ගෝල මානය භාවිතා කර ගෝලයක වක්‍රතා අරය සෙවීමට කටයුතු කලෙමු. එහිදී අප වෙත ලැබුන ගෝල මානය තරමක් බරැති තනිකර පිත්තලෙන් නිමවූ එකකි. එහි 'MADE IN GREAT BRITAIN' කියා ද සඳහන් ව තිබුනි. පෙනුමෙන් ම එය තරමක් පැරණි බව පෙනෙන්නට විය. අප එහි වයස පිළිබඳ අනුමාන කරමින් සිටියදී එතැනට පැමිනි විමලරත්න සර් පැවසූයේ "හේරත්, මමත් උසස් පෙල කරන කාලෙ පාවිච්චි කලේ ඔය ගෝල මානය මයි" කියාය, ඒ ඇසූ අප විශ්මයට පත්වූයෙමු. තවත් ඉතාමත් රසවත් කතා විමලරත්න සර් සමඟ ඇති අතර ලිපිය දීර්ග වන නිසා ඒවා මෙහි සඳහන් නොකරමි.

විශ්‍රාම ගැනීමෙන් පසුව එතුමා කිසියම් ශල්‍ය කර්මයකට භාජනය වූ බවත්, එහිදී සම්භන්ධ වූ බොහෝමයක් වෛද්‍ය වරු එතුමාගේ ගෝලයන් වූ බවත් එබැවින් ඉතාම පහසුවෙන් ඒ කටයුතු කරගත් බවත් එතුමා අප සමඟ සඳහන් කලේ ඉතාමත් සතුටෙනි. ජීවිතයේ කොතෙකුත් භාධක පැමිනියත් තම රාජකාරිය අකුරටම් ඉටු කල බවත්, අවම වශයෙන් නිවාඩු ලබාගත් බවත් (මට ද මතක පරිදි සර් අප සිටි වසර 2 1/2 පමන කාලයටම ලබාගත්තේ එකම එක නිවාඩුවක් පමණි ) එතුමා මතක් කර සිටියේ පුරාජේරුවක් වශයෙන් නොව අපට ආදර්ශයක් වශයෙනි.

විශ්‍රාම සුවයෙන් දහමට නැඹුරු සරල දිවි පෙවෙතක් ගත කරන එතුමා අප සැමගේ පැමිණීමෙන් ඉතාමත් සතුටට පත් විය. රෑ බෝ වූ හෙයින් අප එතුමාගේ පාද පද්ම නමස්කාර කොට එතුමාට සමු දී පැරණි මතකයන් සිත්හි දරාගෙන ආපසු නිවෙස් බලා එන්නට පිටත් උනෙමු...

ඉඳින් අපගේ ගුරු දෙවි වරුන් වූ ඔබට මේ ලිපිය උපහාරයක් ම වේවා! ඔබට චිරං ජයතු!

Tuesday, August 2, 2011

ස්පන්ද පරිනාහ මුහුර්ජනය (Pulse Width Modulation)



කිසියම් විදුලි උපකරනයක විද්‍යුත් සැපයුම මඟින්  එම උපකරනයේ ප්‍රතිදානය පාලනය කල හැකි නම් එවැනි උපකරන වල ප්‍රතිදානය පාලනය කිරීම සඳහා යොදාගන්නා උපක්‍රමයක් ලෙස ස්පන්ද පරිනාහ මුහුර්ජනය (Pulse Width Modulation) හැඳින්විය හැක.

උදාහරණයක් ලෙස විදුලි බුබුලක් කෙරෙහි අවධානය යොමු කරමු. විදුලි බුබුලේ දීප්තිය අඩු වැඩි කරගැනීමට විදුලි බුබුලට සපයන වෝල්ටීය තාව අඩු වැඩි කල හැක. නමුත් මෙහිදී වෝල්ටීයතාව අඩු වැඩිකිරීමට කිසියම් විශේෂ යන්ත්‍රණයක් අවශ්‍ය වේ (ධාරී නියාමකයක්, විචල්‍ය ප්‍රතිරෝධකයක් හෝ අමතර බැටරියක් වැනි...)

නමුත් එවැනි යන්ත්‍රණයන් භාවිතය අපහසු/අකාර්යක්ෂම තැන් වලදී (උදාහරනයක් ලෙස සංඛ්‍යාංක විද්‍යුත් පරිපත (Digital Electronic circuit) ) අපට වෙනත් විකල්පයක් ලෙස මේ ස්පන්ද පරිනාහ මුහුර්ජනය (Pulse Width Modulation) යොදාහත හැක. මෙහිදී සිදුවන්නේ කුමක් ද?

අපගේ අවධානය නැවතත් ඉහත විදුලි බුබුල කෙරෙහි යොමුකරමු. එම විදුලි බුබුලට නියත විද්‍යුත් සැපයුමක් කඩින් කඩ ලබාදෙන්නේ යැයි සිතන්න. එවිට කුමක් සිදුවේද? සැපයුම ලැබෙන විට ආලෝකයත් සැපයුම නොලැබෙන විට අඳුරත් ඇතිවේ. මෙය සීඝ්‍රව සිදුවන විට සිද්ධිය සම්ප්‍රයුක්තයක් ලෙස අඩ අඳුරක් ඇතිවේ. එනම් සැපයුම කඩින් කඩ සැපයීමේ සීඝ්‍රතාව මත විදුලි බුබුලේ දීප්තිය අඩු වැඩි කල හැක. මේ සඳහා අවශ්‍ය වන්නේ ස්විච්චයක් පමනි. පහත සන්නිදර්ශනය බලන්න,


ඉහත 1 අවස්ථාවේදී බැටරියට බල්බය ඍජුවම සම්භන්ධ අතර මෙහිදී බල්බයේ උපරිම දීප්තිය ලැබේ. 2 අවස්ථාවදී ස්විච්චයක් මගින් තරමක් අඩු සීඝ්‍රතාවයකින් සැපයුම භාධා කරයි. එහිදී බල්බයේ සම්ප්‍රයුක්ත දීප්තිය අඩුය. 3 අවස්ථාවේදී වඩා සීඝ්‍රයෙන් සැපයුම භාධා කරන අතර එහිදී බල්බයේ දීප්තිය 2 අවස්ථාවට වඩා වැඩිය.  ස්පන්ද පරිනාහ මුහුර්ජනය (Pulse Width Modulation) දී සිදුවන්නේ මේ සංසිද්ධියයි. 

මෙහිදී, ඒකක කාලයක් (T) තුලදී සැපයුම ලබාදෙන කාලය (T0) නම් ඒවායේ අනුපාතය (T0/T), කාර්ය චක්‍රය(Duty Cycle) ලෙස හඳුන්වන අතර එම අගය වැඩි වන විට ප්‍රතිදානය තීව්‍ර වන අතර(බල්බයේ නම් දීප්තිය වැඩි වේ) අඩු වන විට ප්‍රතිදානය මන්ද්‍ය වේ(බල්බයේ නම් දීප්තිය අඩු වේ) . පහත රූපය බලන්න,


ධාරා නියාමනය හෝ විචල්‍ය ප්‍රතිරෝධ භාවිතයට වඩා ස්විච්චීකරනය සංඛ්‍යාංක තාක්ෂණයේදී ඉතා පහසු කාරනයක් නිසා බොහෝ විට සං ඛ්‍යාංක තාක්ෂණයේදී තීව්‍රතා පාලනයට මේ ක්‍රමය යොදාගනී. මේ ක්‍රම්ය මඟින් බල්බයක දීප්තිය, මෝටරයක භ්‍රමණ වේගය, තාපන දඟරයක උශ්ණත්වය වැනි... සාධක පාලනය කිරීමට යොදාගත හැක. 

Tuesday, July 26, 2011

රෝදය නවතන රෝදක...


රථ වාහනයක් හෝ බයිසිකලයක් පදවන ඔබට ඉතා වැදගත් අංගයක් වන්නේ රෝදක එහෙමත් නැත්නම් තිරිංගයි. ඇත්තෙන්ම තිරිංග නොමැති නම් රථ වාහන වලින් අපට ප්‍රයෝජනයක් ගත නොහැකී. ඇත්තෙන්ම වාහනයක තිරිංග පද්ධතිය යනු කුමක්ද?

වාහනයක තිරිංග පද්ධතිය යනු වාහනයේ චාලක ශක්තිය, තාප ශක්තිය බවට හා විභව ශක්තිය බවට හරවන සුවිශේෂී පද්ධතියකි. වාහනය පාලනය කරගැනීම සඳහා රියදුරාට මෙම තිරිංග පද්ධතිය මහෝපකාරී වේ. ඉතින් ඔබ තිරිංග යෙදූ විට කුමක් සිදුවේද? වඩා සරළ මට්ටමෙන් එය මෙසේ පැහැදිළි කරගනිමු.

ඔබ තිරිංග පාදුකාව (brake paddle) මත බලයක් යෙදූ විට එම බලය කීප ගුනයකින් වැඩිකර(මේ සඳහා විවිධ උපක්‍රම භාවිතා කරයි, ඒවා දීර්ඝ වශයෙන් පැහැදිළි කිරීම මේ ලිපියේ අරමුන නොවේ ) රථයේ රෝද ආසන්නයට සම්ප්‍රේශණය කරයි(මේ සඳහා යාන්ත්‍රික ක්‍රමයක් හෝ ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශණ ක්‍රමයක් හෝ රික්තය භාවිතා කරයි.) රථයේ රෝදය ආසන්නයේ රෝදයත් සමඟ භ්‍රමණය වන කොටසක් හා ඒ මත, තිරිංග පද්ධතියෙන් ලැබෙන බලයෙන් එකී භ්‍රමණයට ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලයක් සැපයිය හැකි භ්‍රමණය නොවන කොටසකුත් ඇත. තිරිංග යෙදූ විට එම කොටස මඟින් යටකී රෝදයත් සමඟ භ්‍රමණය වන කොටසට විරුද්ධව බලය සපයයි. එහිදි චලනය වන කොටසක් චලනය නොවන කොටසක් හා එකිනෙක ගැටීම නිසා එම පෘශ්ඨ දෙක මත සාපේක්ෂ චලිතයක් ඇතිවී තාපය නිපදවේ. මෙසේ තාපය ලෙස හානි වන්නේ වාහනයේ රෝද මඟින් ලැබෙන චාලක ශක්තියයි(පහත රූපය බලන්න, පැහැදිළි කරගැනීමේ පහසුව සඳහා මෙහි දක්වා ඇතේ ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශණයක් සහිත, භ්‍රමණය වන කොටස තැටියක් වන Disk Brake තිරිංග පද්ධතියකි).

දැන් ඔබේ රථයේ චාලක ශක්තියෙන් කොටසක් තාපය ලෙස හානි වී ඇත, එනම් දැන් ඔබේ රථයේ වේගය අඩු වී ඇත. මීලඟට තවත් අසිරිමත් කාරණාවක් සිදුවෙයි,

ඔබ දන්නවා ඔබේ රථයේ බඳ (Body) රෝද මත දුනු මඟින් අවලබ්භනය (Suspension) කර ඇති බව. මෙසේ කර ඇත්තේ ඔබට සුව පහසු ගමනක් සලසා දීම සඳහා පමණක්ම නොවේ. ඔබ තිරිංග යෙදූ විට මේ අවලම්භන පද්ධතියේ ඇති දුනු හැකිලීමට ලක්වේ. මෙසේ දුනු හැකිලීමට ශක්තිය සැපයෙන්නේද රථයේ චාලක ශක්තියෙනි. එවිට රථයේ චාලක ශක්තියෙන් කොටසක් මෙම දුනු හැකිලීම සඳහා වැයවන නිසා රථයේ චාලක ශක්තිය අඩුවේ, එනම් රථයේ වේගය අඩුවේ.

එබැවින් වාහනයේ තිරිංග හොඳින් ක්‍රියා කිරීමට නම් රථයේ අවලම්භන පද්ධතියත් මනා ක්‍රියාකරීත්වයෙන් තිබිය යුතුයි. කෙසේ වෙතත් වාහන වල තිරිංග පද්ධති කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා රිය පැදවීම ණුවනට හුරු නොවන අතර සෑම විටම හදිසියේ තිරිංග යෙදීමට සිදු නොවන ලෙස රථය පැදවීම ඉතාම වැදගත් ය. තවද රථය දීර්ඝ පල්ලම් බැසීමකදී දිගටම තිරිංග යොදාගෙන යනවාට වඩා අඩු ගියරයක ගමන් කරමින් තිරිංග මත යෙදෙන බලයෙන් කොටසක් ගියර් පෙට්ටියට හා එන්ජිමට ලබාදීමට කටයුතු කිරීමෙන් රථයේ තිරිංග පද්ධතිය අධික ලෙස රත්වීමෙන් සිදුවන හානි මඟහරවාගත හැක.

මීලඟට ඔබ තිරිංග යෙදීමේදී මේ ගැනත් සැලකිළිමත් වන්න, "මිනිසත් බව දුර්ලභයි - ප්‍රවේශමෙන් රියපදවන්න" යන කියමන තරයේ සිහිතබාගන්න. ඔබට සුභ ගමන්!


Sunday, July 17, 2011

ඉන්ටකූලර් (Intercooler)


90 දශකයේ මුල්බාගයේ ලංකාව පුරා කතාබහට ලක්වූ උනුසුම් මාතෘකාවක් වූයේ ඉන්ටකූලර් ය. ඒ මැති ඇමති වරුන් සඳහා 'ඉන්ටකූලර් වාහන' ලබාදීමත් සමඟය. එවකට බොහෝ දෙනා සතුව(දැනටත්) ඉන්ටකූලර් යනු කුමක්දැයි අවබෝධයක් නොතිබුන අතර බොහෝදෙනා සිතුවේ එය අධි සුකෝපභෝගී වාහන වර්ගයක් කියා ය. මා ද ඉන්ටකූලර් පිළිබඳව තරමක අවබෝධයක් ලබාගත්තේ මෑතකය. පසුගිය දින වල මෙකී 'ඉන්ටකූලර් වාහනයක්' පාවිචි කිරීමට ලැබුන නිසා මේ පිළිබඳව මතකය නැවතත් අළුත් විය. එහෙයින් ඉන්ටකූලර් යනු කුමක්දැයි සරළව මෙසේ සටහන් කර තැබීමට අදහස් කලෙමි. 

ඔබට අභ්‍යන්තර දහන එන්ජිමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික දැනුමක් නැති නම් මේ ලිපිය කියවීමට පෙර මා කලින් අභ්‍යන්තර දහන එන්ජිම ගැන ලියූ මේ ලිපිය කියවන්න. තවද ඔබට ටර්බෝවක ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික දැනුමක් නැති නම් මා මීට කලින් ලියූ ටර්බෝව පිළිබඳ මේ ලිපිය කියවන්න.  

සරලවම කියන්නේ නම් ඉන්ටකූලර් පද්ධතියක් මඟින් සිදුකරන්නේ අභ්‍යන්තර දහන එන්ජිමක ඉන්ධන දහනය වීමේ කාර්යක්ෂමතාව වැඩිකිරීමයි. මෙය සිදුවන්නේ කෙසේ දැයි අප සොයා බලමු. කලින් සඳහන් කල ටර්බෝවකින් එන්ජිමට දහනය සඳහා අවශ්‍ය වාතය වැඩි වැඩියෙන් සැපයීම මඟින් එන්ජිමේ දහන කාර්යක්ෂමතාව වැඩිවන අයුරු අප සොයාබැලුවෙමු. ඉන්ටකූලර් පද්ධතිය සෑම විටම යෙදෙන්නේ මේ ටර්බෝ චාජරයට (හෝ සුපර් චාජර්යට) පසුවය. මෙහිදී සිදුකරන්නේ ටර්බෝව මඟින් ඇද දුන් වායු ධාරාව සිසිල් කිරීමයි. එවිට කුමක් සිදුවේද?


ඔබ දන්නවා ඝණ ද්‍රව හා වායු රත්කිරීමේදී ප්‍රසාරනය වන බව. එයිනුත් වායුවක පරිමා ප්‍රසාරණය ඝණ හා ද්‍රව වලට සාපේක්ෂව වැඩිය. එහෙයින් අපට මෙවැනි සම්භන්ධයක් ගොඩනැගිය හැක, 
α T
මෙහි V යනු වායුවේ පරිමාව වන අත T යනු (නිපේක්ෂ)උශ්ණත්වයයි.
මෙයින් අපට පෙනීයන්නේ උශ්ණත්වය වැඩිවනවාත් සමඟ වායුවේ පරිමාව වැඩිවන බවත්, එනම් ඒකක පරිමාවක ඇති වායු අනු ප්‍රමාණය අඩු වන බවත් ය.එනම් ඒකක පරිමාවක ඇති වායු අනු ප්‍රමාණය n හා  T යනු (නිරපේක්ෂ)උශ්ණත්වය නම්,
α 1/T
මේ සංසිද්ධිය සරළව මේ කාරනයට ගලපා ඉදිරිපත් කරන්නේ නම්,
රත්වූ වායුව ලීටරයක් එන්ජිමට සැපයූ විට වායු අනු 100ක් එන්ජිමට ලැබේ නම්, සිසිල් වායුව ලීටරයක් එන්ජිමට සැපයූ විට වායු අනු 120ක් පමන එන්ජිමට ලැබේ (මෙම ඉලක්කම් පරිමාණයට නොවේ, අදහස පැහැදිළි කිරීමට අහඹු ලෙස යොදාගත් ඒවාය ). එනම් ඉන්ටකූලර් පද්ධතියක් මඟින් එන්ජිමේ චූෂණ වායුවේ පරිමාමිතික කාර්යක්ෂමතාව (volumetric efficiency) වැඩිකර ඇත. 

ඒ අනුව අපට පැහැදිලි වන්නේ සිසිල් වායුව ඒකක පරිමාවක් ලැබීමේදී සාපේක්ෂ රත්වූ වාත පරිමාවක් ලැබීමට වඩා වැඩි වායු අනු ප්‍රමාණයක් ඇති බවත්, එමඟින් දහනය සඳහා අවශ්‍ය වාතය(වායු අනු ) තවත් වැඩියෙන් එන්ජිමට ලැබෙන බවත් ය. මෙසේ ඉන්ධන දහනය සඳහා වාතය සුලභ වූ විට එන්ජිම තුලදී වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය වෙයි (එනම් නොදැවී ඉවත යන ඉන්ධන ප්‍රමාණය අඩුවෙයි ). එනම් එන්ජිම තුල ඉන්ධන ආසන්න වශයෙන් පූර්ණ දහනය වීමක් සිදුවෙයි.

කතාව ඉතාම සරලවම කියන්නේ නම්, ටර්බෝ ඉන්ටකූලර් පද්ධතියක් සහිත වාහන වල ඉන්ධන කාර්යක්ෂම තාව එම පද්ධතියක් නොමැති වාහන වලට වඩා ඉතා හොඳය, එබැවින් එන්ජිම මඟින් සැපයෙන ජවයද සාපේක්ෂව වැඩිය.

එබැවින් 'සැප වාහන' වල වැඩි ජවයක් ලබා ගැනීමේ අරමුනින් ද, බර වාහන වල ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිකරගැනීමේ අරමුනින් ද ටර්බෝ ඉන්ටකූලර් පද්ධති ඒවායේ එන්ජින් වලට සවිකරනු ලැබේ. මෝටර් රථ ධාවන තරඟ වලට යොදාගන්නා වාහන වල ඉන්ටකූලර් පද්ධති වල පංකාවට අමතරව තවත් සිසිල් කිරීමේ අරමුනින් ඉන්ටකූලරය මතට ජලය ඉසීමේ හෝ අයිස් යෙදීමට හැකිවන පරිදි විශේෂ වෙනස් කම් ද සිදුකර ඇත.




Sunday, July 10, 2011

2600 ශ්‍රී සද්ධර්ම ජයන්තිය


අප මහා සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ අදින් වසර දෙසහස් හයසියයකට පෙර වෙසක් පුන් පොහෝ දින සියළු ලෝක සත්වයා කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් යුතුව ගයාහිස නේරංජනා නදී තෙරදී ශ්‍රී සම්බුද්ධත්වය සාකෂාත් කළ සේක. ඒ සමඟම දෙවියන් බඹුන් සහිත මේ තුන්ලොවෙහිම ඉතාම දුර්ලභව පහලවන්නා වූ රත්නයක් වන ශ්‍රී සම්බුද්ධ රත්නය පහල විය. බුදුන්වහන්සේ සම්බුද්ධත්වයෙන් පසු දින හතලිස් නවයක් මුළුල්ලේ සමාපත්ති සුවයෙන් වැඩසිට කළගුණ සැලකීම දෙවියන්ගේ සැක දුරුකිරීම හා තමන්වහන්සේ ගුරු උපදේශය නැතිවම තමන්වහන්සේ විසින්ම අවබෝධකරගත් ශ්‍රී සද්ධර්මය මෙනෙහි කිරීමෙහි යෙදිය සිටි සේක. 

බුදුන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් පනස්වන දිනයේදී තපස්සු භල්ලුක වෙළඳුන් දෙපළ වෙත ශ්‍රි සද්ධර්මය දේශනා කිරීමත් සමඟම ඔවුන් බුද්ධ රත්නයේත් ධර්මරත්නයේත් දෙරුවන් සරණ ගිය ගෞතම බුදු සසුනේ පළමු ශෘතවත් ආර්ය ශ්‍රාවකයන් බවට පත්විය. ඉන් පසුව එලැඹුන ඇසල පුන් පොහෝ දිනදී ප්‍රථම ධර්මදේශනාව ඉසිපතනයේ මිගදායේදී පස්වග තවුසන් උදෙසා දේශණා කරනලදී. 

ඒ ධර්මදේශණාවත් සමඟම මේ තුන්ලොවෙහිම ඉතාම දුර්ලභව පහලවන්නා වූ රත්නයක් වන ශ්‍රී සද්ධර්ම රත්නය පහල විය. ඒ සදහම්දහම් ශ්‍රවණය කරනුවස් බොහෝ දෙවියන් බ්‍රහ්මයන් ද රැස්වින. එහිදී බුදුරජානන් වහන්සේ දේශණා කළ  ධම්මචක්ක පවත්තන සූත්‍රය අසා කොන්ඩඤ්ඤ තවුසානන් සෝවාන් ඵලය අවබෝධකරගත් සේක. එහිදී උන්වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාවට පත්විය. ඒ සමඟම මේ තුන්ලොවෙහිම ඉතාම දුර්ලභව පහලවන්නා වූ රත්නයක් වන සංඝ රත්නය ලොව පහල විය. 

ඒ අයුරින් ධර්මරත්නයත්, සංඝරත්නයත් ලොවැ පහල වී එලැඹෙන ඇසල පොහොය දිනට වසර දෙදහස් හයසියයක් සම්පූර්ණ වෙයි. එවන් පින්බර සමයෙක අපත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධකරගෙන සසර දුකෙන් අතමිදීමට වීර්යෙන් යුතුව කටයුතු කරමු. ඔබ සැමට මේ ජීවිතය තුලදීම උතුම් වූ සදහම් ඇස පහල වී සසර දුකෙන් අතමිදීමටම හේතුවාසනා වේවා!
තෙරුවන් සරණයි!

Monday, July 4, 2011

පෙට්‍රල්...?!

පෙට්‍රල් වාහන වල ඉන්ධන ලෙස භාවිතා කරන පෙට්‍රල් වල මූලික අන්තර්ගතය වන්නේ ඔක්ටේන් (Octane ) නැමති හයිඩ්‍රෝ කාබනයයි (C8H18). මෙහි සමාවයවික 18 ක් පමන ඇති අතර Iso-octane සමාවයවිකය (2,2,4-Trimethylpentane) දහන කාර්යක්ෂමතාව ඉතාම වැඩි සමාවයවිකයයි. මීට අමතරව පෙට්‍රල් වල පෙන්ටේන් (C5H12), හෙක්සේන් (C6H14) සහ හෙප්ටේන් (C7H16) යන හයිඩ්‍රෝකාබන ද සුළු වශයෙන් අඩංගු විය හැක.

රථවාහන සඳහා නිකුත් කරන ඔක්ටේන් 90 සහ ඔක්ටේන් 95 යන වර්ග වල පෙට්‍රල් වල වෙනස වන්නේ ඔක්ටේන් 90 පෙට්‍රල් වල අන්තර්ගතය 90% ක් ඔක්ටේන් වන අතර ඉතිරි 10% ක පමන පෙන්ටේන්, හෙක්සේන් හා හෙප්ටේන් වැනි වෙනත් හයිඩ්‍රෝකාබන අඩංගු වෙයි. නමුත් ඔක්ටේන් 95 පෙට්‍රල් වල 95% ම ඔක්ටේන් වන අතර වෙනත් හයිඩ්‍රෝකාබන ඇත්තේ 5% ක් පමන සුළු ප්‍රමානයකි. එබැවින් සම පරිමාවක් දහනය කල විට ඔක්ටේන් 90 පෙට්‍රල් වලට වඩා ඔක්ටේන් 95 පෙට්‍රල් වලින් වැඩි තාප ශක්තියක් ලබාදෙයි. එබැවින් ඔක්ටේන් 95 පෙට්‍රල් යෙදූ විට වාහනයක ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිය.

වාහන වල පෙට්‍රල් දහනය වීමේදී ඇතිවන ගැස්ම වැලැක්වීමට "Antiknock agent" පෙට්‍රල් වලට මිශ්‍ර කරයි. මෑතක් වන තුරු මේ සඳහා ඊයම් භාවිතා කල අතර එමගින් වන පාරිසරික හානිය නිසා දැන් ඊයම් මිශ්‍ර නොකරන අතර මේ සඳහා ඇල්කොහොල, ඊතර හෝ ඇරෝමැටික හයිඩ්‍රෝකාබනයක් (එනම් ඒකජ හා ද්විත්ව භන්ධන දෙකම සහිත කාබන් පරමාණු ඇති හයිඩ්‍රෝකාබන ) භාවිතා කරයි. එමගින් පෙට්‍රල් වල ඇති වහා ගිනිගන්නාසුළු බව පාලනය කරයි. නැතහොත් වාහන වල එන්ජින් තුලදී අනවශ්‍ය අවස්ථා වලත් පෙට්‍රල් දහනය වී එන්ජිමේ ක්‍රියාකාරීත්වය අඩාල කරයි. සාමාන්‍යයෙන් පෙට්‍රල් අවර්ණ වන අතර හඳුනාගැනීම සඳහා වර්ණකයක් භාවිතා කරයි. එමෙන්ම පෙට්‍රල් වල කිසිම අවක්ෂේපයක් සිදුවන්නේද නැත.

ඉන්ධන ලෙස භාවිතා කරන පෙට්‍රල් වල ඉහත සඳහන් කල ද්‍රව්‍ය වලට අමතරව වෙනත් අපද්‍රව්‍ය අඩංගු ඉතාමත් අල්ප වශයෙනි. සාමාන්‍යයෙන් පෙට්‍රල් වල අපද්‍රව්‍ය අල්ප නිසා පෙට්‍රල් වාහන වල පෙට්‍රල් පෙරනයක් භාවිතා නොවන අතර පෙට්‍රල් පෙරනයක් තිබුනත් එය ඩීසල් වාහන වල ඇති ඩීසල් පෙරනය මෙන් කාර්යක්ෂම එකක් නොවේ. එබැවින් පෙට්‍රල් වල පමනට වඩා අපද්‍රව්‍ය තිබුන හොත් වාහනයේ කොටස් වලට නිතැතින්ම හානි ගෙනදේ.

අපිරිසිදු පෙට්‍රල් නිසා වාහන, පන නොගැන්වීම, පනගැන්වීමට අපහසු වීම, පනගැන්වුනත් එන්ජිම මද වේගයේ (Idle) ධාවනය නොවීම, එන්ජිම වේගයෙන් ක්‍රියා නොකිරීම, එන්ජිමේ ශබ්දය වෙනස් වීම, එන්ජිමෙන් ලැබෙන බලය අඩු වීම, එන්ජිම අසාමාන්‍ය ලෙස ගැස්සීම, අධික ලෙස ඉන්ධන පරිභෝජනය කිරීම වැනි හානිදායක තත්වයන් ඇතිවිය හැකියි.

ඔබේ වාහනයටත් අපිරිසිදු පෙට්‍රල් ඇතුළු වී ඇත්නම් සහ ඉහත ලක්ෂණ ඇත්නම් වාහනය තවදුරටත් ධාවනය නොකරන්න. වාහනයේ ඉන්ධන ටැංකියේ ඇති සියළුම ඉන්ධන ඉවත් කර (මේ සඳහා ඉන්ධන ටැංකිය යට කරාමයක් ඇත ) පිරිසිදු පෙට්‍රල් බව තහවුරු කරගත් පෙට්‍රල් නැවත දමා කලත්තා එම පෙට්‍රල් ද සම්පූර්ණයෙන් ඉවත් කර නැවත පිරිසිදු පෙට්‍රල් වලින් ටැංකිය පුරවන්න. මෙහිදී ඔක්ටේන් 95 පෙට්‍රල් භාවිත කල හැකි නම් ඉතාම හොඳය. ඉන්ධන ටැංකියද ගලවා පිරිසිදු කල හැකි ද නම් තවත් හොඳය. වායු පෙරනය ද ඉතා හොඳින් පිරිසිදු කරන්න, නැතහොත් අලුතෙන් යොදන්න. පෙට්‍රල් පෙරනය ද පිරිසිදු කරන්න නැත්නම් අලුතෙන් යොදන්න. දැන් වාහනය පනගන්වා එන්ජිමට සාමාන්‍ය වේගයෙන් (Idle) ටික වේලාවක් ධානවන වන්නට සලස්වන්න. පසුව කිලෝමීටර 50 ක් පමන ධාවනය කර එන්ජිමේ ක්‍රියාකාරීතවය යථා තත්වයට පත්ව ඇත්දැයි බලන්න.

තවදුරටත් එන්ජිම අසාමාන්‍ය ගැස්සීම් පනගැන්වීමේ අපහසු තා, ශබ්දයේ වෙනස්කම් වැනි ලක්ෂණ ඇත්නම් වාහනය වහාම පළපුරුදු දක්ෂ කාර්මිකයෙකු ලවා කාබියුරේටර් සේවාවක් (කාබියුරේටරයක් සහිත වාහනයක් නම්) හෝඅ EFI සේවාවක් (EFI සහිත වාහනයක් නම්) සිදුකරගන්න. නැවත පෙට්‍රල් යෙදීමේදී ද පෙට්‍රල් වල පිරිසිදු බව ගැන සැලකිලිමත් වන්න.

Sunday, June 26, 2011

රියදුරු දෑතට දෙවිපිහිටයි


රථයක් පාලනය කිරීම සඳහා ඇති මූලිකම පද්ධතියක් තමයි රථයේ සුක්කානම් පද්ධතිය. රථය රියදුරාට අවශ්‍ය දිශාවට යොමු කිරීම සුක්කානම් පද්ධතියේ මූලික කාර්ය වේ. මෙම සුක්කානම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය හා ඒ හා බැඳුන න්‍යායන් මොනවාදැයි දැනුවත් ව සිටීම රථවාහනයක් පදවන සෑම දෙනෙකුටම වැදගත් වන අතර එමඟින් තම රථය නිසි ආකාරව පරිහරනය කිරීමටත් අනතුරු වලක්වා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. 

වාහනය වංගුවක ගමන් කිරීම, එක් ලක්ෂ්‍යක් වටා සිදුවන භ්‍රමණය වීමක් ලෙස සැලකිය හැකී (පරිපූර්ණ තත්ව යටතේ). වංගුවේ තීව්‍ර තාවය අඩු වත් ම රථය ගමන් ගන්නා පථයේ විශ්කම්භය වැඩි වන අතර තීව්‍ර තාවය වැඩිවත්ම විශ්කම්භය අඩුවේ.

පහත රූප සටහනේ දක්වා ඇත්තේ කිසියම් වාහනයක් වංගුවක ගමන් කරන අවස්ථාවයි. වංගුව ගැනීමේදී ඇතිවන වෘත්තයේ කේන්ද්‍රය Dලෙස දක්වා ඇත. වාහනය නිවැරදිව D කේන්ද්‍රය කරගත් වෘත්තයේ පථයේ ගමන් කරයි නම් (එනම් රථය නියමාකරව වංගුව ගනී නම්) රථයේ රෝද හතරටම ඇඳි ලම්භක ඉහතින් සඳහන් කල D ලක්ෂ්‍යයේදී එකිනෙක ඡේදනය කලයුතුවේ. එය වෙනස් උවහොත් එසේ වෙනස් ලම්භකයක් සහිත රෝදය ගමන් කරන පථය වෙනස් වී එම ටයරය මාර්ගයේ ඇතිල්ලීයාමකට ලක්වෙයි. මෙහිදී පසුපස රෝද දෙකම එකම ඇක්සලයක ඇති බැවින් එම රොද දෙකේම ලම්භක රේඛා දෙක එකම රේඛාවක් ලෙසින් (C) D වෙත සම්භන්ධ වේ. 

ඔබ ඉදිරිපස (හැරී ඇති රෝද ) රෝද මදකට අමතක කරන්න. එවිට ඉතිරි වන එකම ඇක්සලයක ඇති පසුපස රෝද දෙකත් D කේන්ද්‍රය කරගෙන D වටා C නියත දුරකින් රෝද මාර්ගයේ ඇතිල්ලීමකින් තොරව භ්‍රමණය වි හැකි බව රූපසටහනෙන් අවබෝධ කරගත හැක. එහිදී කේන්ද්‍රයට (D) ආසන්න රෝදයට වඩා වැඩි වට ගණනක් කේන්ද්‍රයට ඈත රෝදය භ්‍රමණ්ය විය යුතු බවද වැටහේ. මන්ද යත් කේන්ද්‍රයට ආසන්න රෝදයේ පථයේ පරිධියට වඩා කේන්ද්‍රයට ඈත රෝදයේ පථයේ පරිධිය වැඩි වන බැවින්. මෙම අවශ්‍ය තාව සපුරාලීම සඳහා විශේෂ යන්ත්‍රණයක් මෙම ඇක්සලයේ යොදා ඇත. එබැවින් මෙම ඇක්සලය ඩිෆර්න්ශල් (differential) ලෙස හඳුන්වයි. ඒ පිළිබඳව තොරතුරු ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.

තවත් ඉතා වැදගත් කරුනක් නම් ඉදිරි පස රෝද හැරවෙන කෝණ එකිනෙකට වෙනස් බවයි (ඉහත රූපය බලන්න ). එනම් කේන්ද්‍රයට ආසන්නම රෝදය වැඩි කෝණයකිනුත් කේන්ද්‍රයට දුරින් පිහිටි රෝදය අඩු කෝණයකිනුත් හැරවේ. මෙම අගයන් වංගුවේ අරය හා රථයේ රෝද කුට්ටම් අතර දුර (wheelbase, එනම් ඉදිරිපස රෝදයක මධ්‍යයේ සිට පසුපස රෝදයක මධ්‍යයට ඇති දුර )  අනුව වෙනස් වන බවද මතක තබාගන්න. 

කෙසේ හෝ වාහනයක සුක්කානම් පද්ධතිය ක්‍රියා කල යුත්තේ ඉහත සඳහන් කල අවශ්‍යතා සම්පූර්ණ කරන පරිද්දෙනි. ඉතා විශිෂ්ඨ ඉංජිනේරුමය නිර්මාණයක් වන  මෙම යන්ත්‍රණය කෙසේ නිර්මාණ්ය කර ඇත්දැයි විමසා බැලීම වටී. 

රථය වමට හැරවීමේදී වම්පස රෝදය වැඩියෙන්ද, දකුණුපස රෝදය ඊට වඩා මදක් අඩුවෙන් ද හැරවිය යුතුයි. රථය කෙලින් ගමන් කරන විට රෝද සමාන්තර විය යුතු අතර රථය දකුණට හැරවීමේදී දකුණුපස රෝදය වම්පස රෝදයට වඩා මදක් වැඩියෙන්  හැරවිය යුතුයි. පිළිවෙලින් A, B, හා C රූපසටහන් බලන්න. 


එසේ නොවුන හොත් වංගු ගැනීමකදී ඉදිරිපස රෝද පාරේ ඇතිල්ලීමට ලක්වනු ඇත. එසේ උවහොත් වංගු වලදී වාහන පාලනයකින් තොරව පසෙකට ඇදීයාම, ටයර් අසාමාන්‍ය ලෙස ගෙවී යාම වැනි දෝශ සිදුවිය හැකී. ඉහතින් සඳහන් කල සංකීර්ණ අවශ්‍යතාවය සපුරාගෙන ඇත්තේ අප කවුරුත් හොඳින් දන්නා  ලීවර පද්ධති වලින් හා ජ්‍යාමිතිය උපයෝගීකරගෙනය. ත්‍රපීසියමක හැඩයට සකස්කල සුක්කානම් අත් (Knuckle Arm) මගින් එම ක්‍රියාකාරීත්වය ලබාගෙන ඇත. ත්‍රපීසියමේ සමාන්තර නොවන රේඛාදෙක (එනම් සුක්කානම් අත්) පසුපස ඇක්සලය මත ඇති P නම් මන්ඃකල්පිත ලක්ෂයක් මතදී එකිනෙක ඡේදනය වන ලෙස යන්ත්‍රණය සකස්කිරීමෙන් වංගුවකදී ඉදිරිපස රෝද වලට අවශ්‍ය කෝණ ලබාගත හැක.(පහත රූපසටහන් බලන්න ).

මෙය සිදුවන ආකාරය සරලව වටහාගැනීමට පහත රූපසටහන් බලන්න,



ඉහත 1 රූපයේ ඔන්චිල්ලාවේ AC හා BD ධාරක දෙක මීට පෙර රූපයේ AC හා BD සුක්කානම් අත් වලට අනුරූප වේ. දැන් මේ පද්ධතිය පවතින්නේ ත්‍රැපීසියම්ක් ආකාරයටය. අංක 2 රූපයේ පරිදි එක් ලමයෙක් ඔන්චිල්ලාව පැද්දුව විට (එනම් වාහනය එක් අතකට හැරවූ විට ) පද්ධතිය ත්‍රැපීසියමක හැඩයට තිබෙන නිසා එහි ඇති ධාරක දඬු (එනම් සුක්කානම් අත්) චලනය වන්නේ එකිනෙකට වෙනස් කෝණ වලිනි. තුන්වන රූපයෙන් මෙය වාහනයේ ඉදිරිපස ඇක්සලයට අනුරූප කර ඇත. එමගින් ඉදිරිපස රෝද හැරවීමේ දී අවශ්‍ය කෝණ ලැබෙන ආකාරය පැහැදිළි වනු ඇත. 

මෙම මූලික යන්ත්‍රණය විවිධ වාහන මාදිලි වල යම් යම් වෙනස් කම් සහිතව පිහිටුවා ඇති අතර ඒ සෑම සැකැස්මකම මූලික යන්ත්‍රණය වන්නේ මෙයයි.ඉතින් ඔබ මීලඟට රියදුරු අසුනේ වාඩිවන විට ඔබගේ ඉෂ්ඨ දේවතාවන් මෙන්ම මෙම තාක්ෂණය පිළිබඳවද මෙනෙහිකර සුපරීක්ෂාකාරීව රියපදවන්න.


Monday, June 20, 2011

බුබුලු සැකසුම (Bubble Sort)

සංඛ්‍යාවන් පිලිවලට පෙලගස්වා ගැනීමේ සරළ ඇල්ගොරිතමයක් ලෙස බුබුලු සැකසුම (Bubble Sort) ඇල්ගොරිතමය හඳුන්වා දිය හැක. මෙහිදී සිදුවන්නේ කිසියම් සංඛ්‍යා පෙලගැස්මක, පිලිවෙලින් වරකට අනුයාත සංඛ්‍යා දෙක බැගින් ගෙන ඉන් වඩා කුඩා (හෝ විශාල) එක තෝරා ගැනීමයි. මෙසේ පියවර nxn (n යනු ලබාදී ඇති සංඛ්‍යා ගනනයි) වාරයක් සිදුකල විට සංඛ්‍යා පෙලගැස්ම ආරෝහණ (හෝ අවරෝහණ ) ආකාරයට පෙලගස්වාගත හැක. 
පරිගණක ක්‍රමලේඛ (Computer Programming) වලදී කිසියම් දී ඇති සංඛ්‍යා පෙලගැස්මක් (Number Array) ආරෝහණ හෝ අවරෝහණ අයුරින් පිලියෙල කරගැනීමට මෙම බුබුලු සැකසුම් ඇල්ගොරිතමය (Bubble Sort Algorithm) භාවිතා කරයි. මෙමෙ ඇල්ගොරිතමය පරිගණක භාෂාවක් (Programming Language) මඟින් ගොඩනැංවීමට ඉතා පහසු බැවින් මෙම ඇල්ගොරිතමය ඉතා ප්‍රචලිතය. නමුත් මෙහි ඇති සරල බව නිසාම මෙම ඇල්ගොරිතමය ක්‍රියාත්මක වී ප්‍රථිඵලය ලබාදීමට යන කාලය සාපේක්ෂව වැඩිය. එබැවින් මෙම ඇල්ගොරිතමය සුදුසු වන්නේ සංඛ්‍යා අඩු ගනනක් පිලියල කරගැනීමට ය. පිලියල කිරීමට ඇති සංඛ්‍යා ගනන වැඩිවත් ම, ගතවන කාලයද වැඩිවේ.

ඇල්ගොරිතම්යක කාර්යක්ෂමතාව මැනීමට O අංකනය (Big O Notation) භාවිතා කරයි. එයින් කියවෙන්නේ ඇල්ගොරිතමයක ආදානයන්ට (Inputs) වලට සාපේක්ෂව සැකසුමට (Process) ගතවන කාලයයි. ඒ අනුව බුබුලු සකසන ඇල්ගොරිතමයේ (Bubble Sort Algorithm) සාමාන්‍ය කාර්යක්ෂමතාව (Average Performance) O(n2 ) වේ. එනම් උදාහරණයක් ලෙස,
මෙම ඇල්ගොරිතමයෙන් සංඛ්‍යා 10 ක් පිලියෙල කරගැනීමට ඇත්නම් (එනම් ආදාන(Inputs) 10ක් එවිට n=10) හා එක ආදානයක් සකස් කිරීමට ගතවන කාලය මිලි තත්පර 2ක් නම්, සම්පූර්ණ සංඛ්‍යා 10 ම සැකසීමට ගතවන කාලය (2xn2 එනම් 2x102) මිලිතත්පර 200කි.

මෙම ඇල්ගොරිතමය C# පරිගණක භාෂාවෙන් ගොඩනඟා ඇති ආකාරය පහත දැක්වේ.


 1. for (int t = 0; t < 10; t++)
 2.             {
 3.                 for (int i = 0; i < 9; i++)
 4.                 {
 5.                     if (numbers[i] > numbers[i + 1])
 6.                     {
 7.                         temp = numbers[i];
 8.                         numbers[i] = numbers[i + 1];
 9.                         numbers[i + 1] = temp;
10.                     }
11.                 }
12.             }


පස්වන පේලියේ දී සිදුකර ඇතේ දී ඇති සඛ්‍යා පෙලගැස්මේ (Integer Array) අනුයාත සංඛ්‍යා දෙකෙන් වඩා කුඩා එක තෝරා ගැනීමයි. එහිදී අනුයාත සංඛ්‍යා දෙකෙන් මුල් එක අනෙකට වඩා විශාල නම්, 7-9  පේලි වලදී ඒ සංඛ්‍යා දෙකේ පිහිටීම හුවමාරු කර ඇත. මෙසේ දී ඇති සඛ්‍යා පෙලගැස්මේ (Integer Array) සෑම අනුයාත සංඛ්‍යා දෙකකටම වාර දහයක් සිදුකල විට දී ඇති සංඛ්‍යාවන් ආරෝහණ අයුරින් පෙල ගැසේ.   


සංඛ්‍යා 10ක් ලබාගෙන ඒවා බුබුලු සකසන ඇල්ගොරිතමයෙන් (Bubble Sort Algorithm) ආරෝහන පිලිවෙලට සකස් කරන සරල C# Console Program එකක කේත මෙසේය. රතුපාටි දක්වා ඇත්තේ බුබුලු සකසන ඇල්ගොරිතමය (Bubble Sort Algorithm) ගොඩනංවා ඇති කේත කොටසයි.


static void Main(string[] args)
        {
            int[] numbers = new int[10];
            int temp;


            for (int i = 0; i < 10; i++)
            {
                Console.Write("Enter a number: ");
                numbers[i] = Convert.ToInt16( Console.ReadLine());
            }




            Console.WriteLine();
            Console.WriteLine("Your Order");




            for (int i=0;i<10;i++)
            {
                Console.Write("{0}, ",Convert.ToString(numbers[i]));
            }




            Console.WriteLine();
            Console.WriteLine();
            Console.WriteLine("Ascending Order");




            for (int t = 0; t < 10; t++)
            {
                for (int i = 0; i < 9; i++)
                {
                    if (numbers[i] > numbers[i + 1])
                    {
                        temp = numbers[i];
                        numbers[i] = numbers[i + 1];
                        numbers[i + 1] = temp;
                    }
                }
            }




            for (int i = 0; i < 10; i++)
            {
                Console.Write("{0}, ", Convert.ToString(numbers[i]));
            }


            Console.ReadLine();
            
        }

Sunday, June 12, 2011

පොසොන් සඳේ සඳ කිරණ ගලාලා...


දෙටුපෑතිස් මහ නිරිඳු                                          න්
දුනු හී කඩු ගෙන සුරති                                       න්
මිහින් තලා හිමය මැදි                                        න්
පොසොන් සඳේ සඳ එලියෙ                              න්

යනවිට රුදු දඩ කෙලි                                       යේ
මුවෙක් ගියා සඳ එලි                                        යේ
ඌ පසු පස ලුහු බැඳි                                        යේ
අමුතු දෙයකි සිදුවූ                                            යේ

තිස්ස තිස්ස හඬ ඇසු                                         නා
මහ නිරිඳුන් තිගැස්සු                                          නා
මගේ නමින් අමතන්                                          නා
කවුරුද ඒ හඬදෙන්                                            නා

මිහින්තලා ගිරි මුදු                                             නේ
සවනක් රැස් විහිදෙන්                                       නේ
සවනක් පිරිවර මුලි                                           නේ
මිහිඳු හිමියි වැඩ ඉන්                                        නේ

ශක්‍ර දෙවිඳු වැඩසිටි                                           නා
වෛජයන්ත මහ විම                                         නා
සෙලවෙන හැටි දුන් පෙන්                                නා
සැරියුත් මුගලන් සඟ සොබ                               නා

වන් පෙළපත යෙන් පැවතෙ                               න
මරුන් නසා නිම කර දුක් සසර ගම                      න
විනීත ලෙස වට ඒ මුදු අමා නිව                           න
අභීත මහ මිහිඳු හිමියි මහරජගේ නම අමත          න


නිරිඳුන් මොහොතක් රැඳු                                   නා
දුනු හී කඩු බිම වැටු                                           නා
මුව පොව්වගෙ දිවි රැකු                                     නා
නිරිඳුගෙ සිත නිසල වු                                       නා

මිහිඳු සමිඳු රජ ඇමතූ                                        වේ
දඹදිව සිට අප මෙහි වැඩමවූ                             වේ
කරමින් ඔබ වෙත අනුකම්පා                             වේ
අප හැම බුදු හිමි ශ්‍රාවකයන්                               වේ

පින්වත් නිරිඳුගෙ නුවනැස ඇරු                         නා
ඇසුවෙන් අඹ පැණ පිළිතුරු දුන්                        නා
හැම පැණයම නුවණින් තෝරන්                       නා
සුදුසුයි මහ රජ දහම් අසන්                                නා


පොසොන් සඳේ සඳ කිරන ගලා                        ලා
මිහින්තලා වන අරනේ ඉඳ                                ලා
සුළු ඇත් පද උවම් සුතුරින් ඇරඹී                       ලා
සිරි සඳහම් ගඟ බසී ගලා                                   ලා


ඒ ලෙස ඇරඹු                                                නේ
බුදු සසුන මේ දෙර                                         නේ
සිහිකර එය පොසොන් දි                                නේ
අපිත් යමු උතුම් තිසරන සර                            නේ

Sunday, June 5, 2011

සිව් මසකට පසු යලිත් ත්‍රිකුණාමලයට...


මං කලින් වතාවෙ ත්‍රිකුණාමලයට යද්දි රටේ හැම තැනටම වැස්සෙන් බොහොම අලාභහානි වෙලා තිබුනෙ. කන්තලේ ඉඳල ත්‍රිකුණාමලය දක්වා මහාමාර්ගයය වාරි මාර්ගයකටත් වඩා අන්ත වෙලා තිබුනෙ. ඕමාරගොල්ල ප්‍රදේශයෙත් මාර්ගය බොහොම අබලන් වෙලයි තිබුනෙ. මාර්ගයේ බොහෝ ප්‍රදේශයක් ගංවතුර නිසා ජලයෙන් යටවෙලයි තිබුනෙ. ඔය සිද්ධිය වෙලා මාස හතරකට විතර පස්සෙ ඊයෙ ආයෙත් හදිස්සියෙම ත්‍රිකුණාමලයෙ ගියා.

ඒ ගමනෙදි අපට දකින්න ලැබුනෙ මීට මාස හතරකට කලින් ගංවතුරෙන් බොහොම අබලන් වෙලා තිබුන මාර්ගය යථා තත්වයට පත් කරල තිබුන ආකාරයයි. එදා දකිද්දි පාරක් ද කියල හොයාගන්නවත් බැරිව තිබුන පාර දැන් කාපට් අතුරා නැවත යථා තත්වයට පත්කරල. නමුත් තවමත් සමහර තැන් ප්‍රතිසංස්කරනය කරමිනුයි තියෙන්නෙ. එදා කන්තලේ ඉඳල ත්‍රිකුණාමලයට ලඟාවෙන්න පැය දෙකක විතර කාලයක් ගත වුනා අබලන් මාර්ගය නිසා. නමුත් අද විනාඩි 45කින් විතර මේ ගමන අවසන් කරන්න පුලුවන්. මාර්ගය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කලාම මේ ගමනට ගතවෙන්නෙ පැය භාගයකටත් අඩු කාලයක්. 

ඒ වගේම කන්තලේ ඉඳල හබරන-දඹුල්ල දක්වා මාර්ගය ඉතාම හොඳයි. වාහනත් අඩුයි, පාරත් කෙලින්. කාටවත් කරදරයක් නැතිව ඇඟේ පතේ හිරි ඇරෙන්න වාහනයක් පදවන්න ඕනෙ නම් ඔන්න පාර :). හදිස්සියෙම ගිය නිසා හොඳ කැමරාවක් අරන් යන්නත් බැරි උනා. පුලුවන් විදියට ඡායා රූප ටිකක් ගත්ත මේ තියෙන්නෙ ඒව.

මුහුදු වෙරලේ සුදු වැලි තලාව
ක්ෂිතිජය


විනිවිද පෙනෙන මුහුදු ජලය

සිප්පිකටු

ඈතින් පේන ත්‍රිකුණාමලය නගරය

දියඹ

රැල්ල මවන සුදු පෙන කැටි

ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ

වැල්ලේ රටා මවන රැල්ල

දියට යටින් වැල්ල

පියසටහන්

වැල්ලේ කුරුටු ගී...

මේ අකුරු වලට යටින් දිවෙන කථාව කවුරු දනීද...

සුසුනිදු වැලි තලාව

සුසුනිදු වැලි තලාව

මල හිරු බැසයන යාමයේ

නගරයේ නිදැල්ලේ සැරිසරන මුවෙක්

කලපුවට එපිටින් බැසයන හිරු

කලපුවට එපිටින් බැසයන හිරු

ආපසු ගමන

නගරයේ මාර්ගය

පිලිසකර කල මාර්ගය

තවමත් පිලිසකර කරමින් පවතින මාර්ගය

කාපට් ඇතිරූ මාර්ගය

කාපට් ඇතිරූ මාර්ගය

ගිය වර ලොරියක් එරී තිබූ ප්‍රදේශයේ මාර්ගය පිලිසකර කර ඇති අයුරු

වේගය

මග දෙපස

මග දෙපස

අග්බෝපුර ප්‍රදේශය

මග දෙපස

මග දෙපස

මග දෙපස

මග දෙපස

මග දෙපස

ජය පුර ප්‍රදේශය

මග දෙපස


දැන් නම් කළුවර වැටිලා


කන්තලේ වැවට උඩින් පෑයූ අඩසඳ

කන්තලේ සිට ඉදිරියට ඇති පුළුල් මාර්ගය

කන්තලේ සිට ඉදිරියට ඇති පුළුල් මාර්ගයේ පවනට බඳු වෙගයෙන් යන ලොරි