Monday, May 30, 2011

බියකරු සසර මග අසරණ නොවනට තිසරණ සරණ යමු සැමවිට


දිනක් ඡත්ත නම් වූ තරුණයෙක් ගුරු පුදට පඬුරුත් රැගෙන සිය ගුරුතුමන් ව බැහැදකින්නට යමින් සිටියා. අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බලන කල්හී, මේ ඡත්ත තරුණයාට අතරමඟ දී විපතක් සිදුවන බවත්, ඔහු තිසරණයේ පිහිටියහොත් දෙව් ලොව පිවිසීමට හැකිවන බවත් දුටු සේක. එසේ හෙයින් ඡත්ත ගමන් කරන අතරමඟ ඔහු කෙරෙහි මහත් වූ කරුණාවෙන් අප මහා සම්බුදු රජාණන් වහන්සේ ගසක් පාමුල වැඩසිටිය සේක.

බුදු සමිඳු දුටු ඡත්ත, බුදු රදුන් වෙත වන්දනා මාන කරන ලදී. ඒ අවස්ථාවේ බුදුහිමියන් ඡත්ත ගෙන් ආගිය තොරතුරු විමසා මෙසේ විමසන ලද සේක,
"ඡත්ත මානවකය, ඔබ තිසරණය හා පන්සිල් ගැන දන්නවාද?"
ඡත්ත මානවකයා, "ස්වාමීනී, මම ඒ ගැන නොදනිමි, මා ඒ ඉගෙනීමෙන් මට කිනම් ඵලයක් වේද?" යැයි විමසන ලදී.
ඒ මොහොතේ දී අප මහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරන ලදී
"ඡත්ත, මා විසින් මේ ධර්මය මුල, මැද අග ඉතාම පිරිසිදු ලෙසින් මැනවින් දේශනා කර ඇත. ඔබ තිසරණ සහිත පංච ශීලය සමාදන් වන්න. එය ඔබගේ ජීවිතයට මහත් ඵල මහානිසංස වනු ඇත. ඔබ සමාදන් වන මේ ගාථා රත්නයන් තුන මතක තබාගෙන එය සිහිකරමින් ගුරු පුදට යන්න"

ඒ ගාථා රත්නයන් තුන මෙසේය,

යෝ වදතං පවරෝ මනුජේසු – සක්‍යමුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි – තං සුගතං සරණත්ථ මුපෙහී
(කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන් චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.)
රාග විරාග මනෙජ මසොකං – ධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්මමිමං සරණත්ථ මුපෙහි
(ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරුවෙනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති , පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.)
යත්ථ ච දින්නමහප්ඵල මාහු – චතුසුසු චීසු පුරිසයුගෙසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේ – සංඝමිමං සරණත්ථ මුපෙහි
(යම් ආර්ය සඟ පිරිසකට දානය පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් එසේ වූ උන්වහන්සේලා පාරිශුද්ධ පුද්ගල යුගල වශයෙන් සතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝරත්නය ද සරණ යන්න.)
ඡත්ත තරුණයා මේ ගථාවන් තේරු ගෙන, බුදු රදුන්ට වැඳ නමස්කාර කොට නැවතත් සිය ගමනට පිටත් උනා. ගමන අතර මඟදී සොරුන් විසින් ඡත්තව මරා ඔහු අත වූ මුදල් පැහැරගන්නා ලදී. තිසරණ සරණ සිහිකරමින් සිටි ඡත්ත මිය යනවාත් සමඟ නින්දෙන් අවදිවන්නාක් මෙන් තව්තිසා දෙව් ලොව විසි යොදුන් ආලෝක ධාරා මතුකරමින් පහල විය. 
මිය ගිය ඡත්ත තරුණයාගේ ආදහන කටයුතු වලට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ද වැඩම කරන ලදී. මේ මොහොතේ දී දෙව් ලොව සිට ඡත්ත දේවේන්ද්‍රයා ද සපිරිවරින් දේව විමානත් සමඟම භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වන්දනා මාන කරගැනීම ට මහත් වූ ගෞරවයෙන් එතැනට පැමිනියහ. රැස්ව සිටි මිනිසුන් මේ දෙවියෙක් ද බ්‍රහ්මයෙක් දැයි විමතියට පත්විය. ඡත්ත දේවේන්ද්‍රයා කල පින් කම් අවට රැස්ව සිටි මිනිසුන් ට දැනගැනීම පිණිස භාග්‍යවත් බුදුරජානන් වහන්සේ මෙසේ විමසන ලද සේක.
"මේ දිව්‍ය විමානය අහසෙහි ඉතාම ප්‍රභාෂ්වරව බබලනව, මෙවන් අසිරිමත් ලෙස දෙව් ලොවින් මොලොවට පැමිණි ඔබ කවුරුන්ද?"
ඒ විමානයෙන් විහිදෙන ආලෝකය හිරු රැස් පවා පරදවනවා. යොදුන් විස්සක විතර දුරට රැස් විහිදෙනවා. දහවල් කාලයේ වගේම රෑටත් රැස් විහිදෙනවා. ඒ විමානය පිරිසුදු යි. නිර්මල යි. සුන්දර යි.
විචිත්‍ර වූ සුදු නෙළුම්, රතු නෙළුම්, ඒ වගේ බොහෝ නෙළුම් තිබෙනවා. නොයෙක් වර්ගයේ මල් පිරිලා තිබෙනවා. නොයෙක් විසිතුරු කැටයම් තිබෙනවා. ඉතාම පිරිසුදු රත්තරනින් හැදුණු දැල් විමානේ වටේට තිබෙනවා. හිරු මඩලක් වගෙයි අහසේ බබළන්නේ.
රතුපාට, කහපාට, දිව්‍ය සළුවලින් සරසලා තිබෙන්නේ. සඳුන් සුවඳින් යුක් තයි. රන්වන් පාටින් බබළන දිව්‍ය අප්සරාවන් පිරුණු මේ විමානය පෙනෙන්නේ තාරුකාවන් පිරිවරා ගත් ගගන තලය වගේ. මෙහි ඉන්න දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් මල්වලින් සැරසිලා. දිව්‍යාභරණයන් සැරසිලා. සතුටු සිතින් ඉන්නේ. ඒ දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් බොහෝ දෙනකු ගේ කේශ කලාපයන් ලස්සනට සරසලයි තිබෙන්නේ. මඳ සුළඟට සෙලවෙන රන්වන් මල්වලින් සුවඳ විහිදෙනවා. “
“ දේවේන්ද්‍රය, මේ පුණ්‍ය විපාකය ලැබුණේ මොන වගේ සංවරකමක්, දමනය වීමක් නි සාද? මෙහි ඔබ උපන්නේ මොන වගේ පුණ්‍ය විපාකයකින් ද? “ භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරනු ලැබුවා.
“ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එක්තරා මානවකයෙක් මහමඟ යමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ, ඔහු මුණගැහිලා අනුශාසනා කළා. ඒ මහාර්ඝ රත්නය වන නුඹ වහන්සේ ගේ ධර්මය අසා පිළිපදිනවා කියලා ඒ ඡත්ත මානවක කිව්වා. ස්වාමීනි, පරමෝත්තම වූ ජිනේන්ද්‍රයන් වහන්සේ සරණ යන්න, ධර්මය, භික්ෂු සංඝයා සරණ යන්න කියල වදාළ වෙලාවේ මම පළමුව කිව්වේ ඒ ගැන නොදන්නා බවයි. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහලා තෙරුවන් සරණ ගියේ.
ඒ අපිරිසුදු වූ නානා ප්‍රකාර වූ ප්‍රාණඝාතය කරන්න එපා. ප්‍රාණින් කෙරෙහි සංයමය නැති අය ගැන නුඹ වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිව්වේ දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහල ඒ විදියට කළේ.
අනුන් විසින් රකිනු ලබන දේවල් තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියලා වදාළ වෙලාවේ මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹවහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
අනුන් ආරක්‍ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක් කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවෙයි කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
හොඳ සිහිය නැති වෙන්නේ බීමත්කමින් නම් ඒ සැම මද්‍යසාරයක්ම දුරින්ම දුරු කරන්න කියලා වදාළ වෙලාවේදී ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලයි. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
ස්වාමීනි, මම පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්දා. දෙමංසලකට ආපු වෙලාවේදී මාව සොරුන්ට මැදි වුණා. ඔවුන් වස්තුව ගන්න හිතාගෙන මාව මැරුවා. පිනක් ලෙස මෙච්චරයි සිහි කරන්න තිබුණේ. ඒ සුචරිත ධර්මයෙහි විපාක වශයෙන් මම සැප තිබෙන තවුතිසාවේ ඉපදුණා.
ශීල සංවරය ඇතිකර ගත්තේ මොහොතයි. ධම්මානුධම්ම පටිපදාවේ විපාකය බලනු මැන. මා දකින විට හීන සම්පත් ඇති බොහෝ අය මා වගේ කෙනෙක් වෙන්නයි කැමැති වෙන්නේ.
සුළු දේශනාවක අසිරිය බලනු මැන. මම සුගතියට ගියා. සැපත් ලැබුවා. එහෙම එකේ යම් කෙනෙක් නිතර නිතර ධර්මය ඇසුවොත් ඒ අය දුක, බිය රහිත අමා නිවන ස්පර්ශ කරනු නිසැකයි. තථාගතයන් වහන්සේ ගේ ධර්මයේ පිහිටලා යමක් කළ විට මහා විපාකයන් ලැබෙනවා. විපුලඵල ලැබෙනවා. පින් කරගත් මා දෙස බලන්න. හිරු මඬල බබළනවා වගේ මා දෙව්ලොව බබළනවා. මේ කුසලය මොන වගේ දෙයක්ද? මොන වගේ යහපතෙහි ද හැසිරිය යුත්තේ කියලා ඇතැම් දෙවිවරුන් සාකච්ඡා කරනවා.
භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ උපකාර කොට වදාළා. අනුකම්පා කොට වදාළා. මහ මද්දහනේ මා සිටි තැනට වැඩමවා ලූ සත්‍ය නාම වූ බුදුරජුන් කරා මා පැමිණුනා. මට අනුකම්පා කරන සේක්වා. ආයෙත් අසන්නම්, මේ ශාසනයේ යමෙක් කාමරාග දුරුකරනවා නම්, භව රාගයන් දුරු කරනවා නම්, මෝහයත් දුරුකරනවා නම් උන්වහන්සේලා ආයේ කවදාවත් මව්කුසක පිළිසිඳ ගන්න එන්නේ නැහැ. පිරිනිවීමට පත්වෙලා එයින් නිවී සැනසුම ලබනවා “
එසේ හෙයින් බියකරු සංසාර ගමනේ අසරණව අතර මං නොවී, නිර්වානාවබෝධය කරා එලැඹීමට උතුම් වූ තිසරණය අවබෝධයෙන් ම සරණ යමු.
බුදු සරණ වේ                      වා!
සදහම් සරණ වේ                  ව!
සඟ සරණ වේ                     වා!
මෙතුන් සරණෙන් ජයම වේ  වා!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ ගේ ධර්ම දේශනාවක් ඇසුරෙනි.
තෙරුවන් සරණයි!

Sunday, May 22, 2011

කියනුය දිවා රැය, කියම් බුදු ගුණ අලංකාරය...


කු‍‍‍ළුණු මෙත් සත වෙ                       ත
පතළ නැණ සවපද රු                      ත
හෙළ කළ ලොවට සෙ                     ත
නිතර නමදිමු මුනිඳු සරණ                ත

ලංකර සසර හි                                 ම්
දුරුකර කෙලස් බිය ගි                      ම්
සිදු කළ යුතු උතු                             ම්
වදිම් නව ලොව් තුරා සදහ               ම්

කිසි කෙනෙකුන් පම                      ණ
නොකැළැකි තුණැති අපම              ණ
සතහට පිළිසර                               ණ
වඳිම් අදරින් අරී සඟ ග                   ණ

බව සිදු පසු රුව                             න්
අව බිය අඳුරු හි රුව                      න්
පිරි ගුණ මහ රුව                           න්
මෙසේ නමකර පුදා තෙ රුව          න්

කයනම් අසාර                               ය
බව නම් බයන් කාර                      ය
කියනුය දිවා රැ                             ය
කියම් බුදු ගුණ අලංකාර                ය

මහ කවි වරන් පෙ                         ර
පවසා නොපත් පරතෙ                  ර
සුගතිදු ගුණ ගැඔ                           ර
මේමා කියමි සිතනු වැරසැ             ර

සූවාසු දහස                                 ක්
යොඳුන් ගැඹුරැ'ති මුහුද                 ක්
ගොඩ කරමැයි උද                       ක්
ලෙහෙනු කළ තැන් වැන්න දවස   ක්

එතකුදු වත් සොඳි                         න්
පුරමී පිණක් නොමඳි                    න්
මුනිදු ගුණ මුහුඳි                           න්
බිදක් දක්වමි උදක් ඔකඳි              න්

නුවණැති යෙනි මෙ                     මා
බස ද්‍රෙස ඇතත් එද                     මා
දෙසවන් පුටන                            මා
පමා නොව ගනුව මුනි ගුණ          මා


උපුටා ගැනීම වීදාගම හිමියන් විසින් රචිත බුදුගුණ අලංකාරය කෘතියෙනි.
තෙරුවන් සරණයි!

Sunday, May 15, 2011

උතුම් වූ බුද්ධ රත්නයේ තෙද බලයෙන් ඔබට යහපතක් ම වේවා!


දාසක් යුගත් හි අවි යුත්
ගෙන මාර සේනා
කෝපෙන් නැඟී ගිරිමෙඋල්
එත මාර දෙව් පුත්

දානාදි ධර්ම බලයෙන්
දිනුවෝ මුණින්දෝ
ඒ තේජසින් ඔබට බෝ
ජයමංගලම් වේ

මාරා වෙසින්මැ නැඟෙමින්
කර ඝෝර ගෝෂා
රෑ තිස් පැයේ යුධට වන්
එ අලව් යකුන් මන්

ක්ෂාන්තී සුධර්ම බලයෙන්
දිනුවෝ මුණින්දෝ
ඒ තේජසින් ඔබට බෝ
ජයමංගලම් වේ

නාලාගිරී මද ඇතුන්
දිව ආ ගිගුම් දී
ලැව්ගින්න සේ ද අසනි
සැරයක් පරිද්දෙන්

මෛත්‍රී දියත්ත ඉසිමින්
දිනුවෝ මුණින්දෝ
ඒ තේජසින් ඔබට බෝ
ජයමංගලම් වේ

එල්ලා කරේ ඇඟිලි වැල්
අසිපත් අමෝරා
ආ ඒ හඹා පසුපසින්
මරුවා අඟුල් මල්

සම්මා සමාධී සවියෙන්
දිනුවෝ මුණින්දෝ
ඒ තේජසින් ඔබට බෝ
ජයමංගලම් වේ

බන්දා කුසේ දර ගොඩක්
ගෙන ගර්භණී වෙස්
චිංචාව කී බස මුසා
ඉවසා වදාරා

ක්ෂාන්තී විනීත වදනින්
දිනුවෝ මුණින්දෝ
ඒ තේජසින් ඔබට බෝ
ජයමංගලම් වේ

මෝහෙන් එ සච්චක තෙමේ
නිති වාද ලොල් වූ
නෙත් අන්ධ වූවෙකු ලෙසින්
කල වාදයේ දී

ප්‍රඥා ප්‍රදීප එලියෙන්
දිනුවෝ මුණින්දෝ
ඒ තේජසින් ඔබට බෝ
ජයමංගලම් වේ

නන්දෝප නන්ද මහ නා
රජු ඍද්ධිමත් වූ
මන් බින්ද කල්ගි මුගලන්
රහතන් වහන්සේ

ඍද්ධී උදාර බලයෙන්
දිණුවෝ මුණින්දෝ
ඒ තේජසින් ඔබට බෝ
ජයමංගලම් වේ

මිත්‍යා බුජංග විශ දත්
පහරින් රිදුම් දී
නෙක් බස් දෙඩූ ඹබ ලොවේ
බක බ්‍රහ්මයානන්

ඥානෞෂධෙන් සුවය දී
දිනුවෝ මුණින්දෝ
ඒ තේජසින් ඔබට බෝ
ජයමංගලම් වේ
සියළු සත්වයෝ සුවපත් වෙත්වා!

Sunday, May 8, 2011

මාගේ ස්වාමී වූ උතුම් ශ්‍රී සම්බුද්ධ රත්නයේ අනන්ත ගුණ මෙසේ වන සේක


ඒ භාග්‍යවතුන් වහන්සේ රාග, දෝස, මෝහ මුල් කොට හටගන්නා, වූ සිත කිළිටි කරන්නාවූ කෙලෙස් වලින් සම්පූර්ණයෙන් ම මිදුන සේක. එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් නම් වනසේක. 

උතුම් වූ චතුරාර්ය සත්‍ය තමා විසින් ම අවබෝධ කරගත් බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

සම්මා දිඨ්ඨියෙන් ඇරඹී අරහත්වයෙන් අවසන් වන විද්‍යාව තුල සෑම ක්ෂණයකම හැසිරුන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචරන සම්පන්න වන සේක. 

ආර්ය අශ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කර නිවන් අවබෝධ කල හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ සුගත නම් වනසේක. 

සියලු ලෝක වල දැනගැනීමට ඇති සියලු දේ ඉඳුරාම දැනගත් බැවින් භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක.

පුද්ගලයන් හික්මවන්නන් අතර ශ්‍රේෂ්ඨතම ලෙස පුද්ගලයන් හික්මවූ බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී නම් වන් සේක.

සසර නැමති කතරින් එතෙර වීමට දෙවියන්ටත් මිනිසුන්ටත් නිවැරදි මඟ පෙන්වන බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ සත්තා දේවමනුස්සානං  නම් වන සේක.

තමා විසින් අවබෝධ කරගත් දේ අන් අයට අවබෝධ කරවන බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධ නම් වනසේක.

එවන් වූ අපරිමිත ගුණ දරනා බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ භගවා නම් වන සේක.

එසේ අනන්ත ගුණ දරන්නා වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේ කෙරෙහි ඉන්ද්‍ර ඛීලයක් විලසින් ශ්‍රද්ධාව ඇතිකරගනිමු.
තෙරුවන් සරණයි!

Sunday, May 1, 2011

මාගේ ස්වාමී වූ භාග්‍යවත් අරහත් බුදු පියානන් වහන්සේ මෙසේ වන සේක!


සත් රුවණින් ඵල රත් සුපතුල් වත්
දික් විලුඹින් හොබනා ලකුණින් සන්
වල් විදු නා කුඩ රූ රැඳි පා යුත්
ඒ ඔබ වේ යැ පියා නර සී වූ

සෑ කුමරා වර බෝ මැ මොලොක් වූ
පින් ලකුණින් සැදි පුන් සිරිරින් යුත්
වූ නර වීර ඉතින් ගිය ලෝ වෙත්
ඒ ඔබ වේ යැ පියා නර සී වූ

පුන් සඳ වන් පැහැපත් මුව දිස්නා
දෙවි මිනිසුන්  පිය වූ නර මානා
මත් ගිජිඳුන් නෙ විලස් ගමනෙන් පෑ
ඒ ඔබ වේ යැ පියා නර සී වූ

කැත්වැ උපන් අග පත් කුලවත් වූ
දෙව් මිනිසුන් නැමැදුම් කළ පා යුත්
සිල් එකඟින් පිහිටා ඇති සිත් වත්
හේ ඔබ වේ යැ පියා නර සී වූ

දික් තුඩු වූ නැහැයෙන් යුතු සූ සන්
වස්සකු ඇස් ගුලි වන් ඉඳුනිල් නෙත්
දෙව් දුනු සේමැ සුනිල් බැම දිස්නා
හේ ඔබ වේ යැ පියා නර සී වූ

වූ වටහා සුමටත් කෙලසූ සන්
සී හනු වූ මිඟිදුන් කය වන් ගත්
වන් වැ කසුන් සිරි පෑය උතුම් වූ
හේ ඔබ වේ යැ පියා නර සී වූ

වූ සිනිදුත් ගැඹුරුත් බඹ ගොස් යුත්
දෑ හිඟුලේ වැනි පෑය සුරත් තිවු
විස්සෙකැ විස්සෙකැ සේ සම දත් යුත්
හේ ඔබ වේ යැ පියා නර සී වූ

වන් රසඳුන් ඉඳු නිල් හිස කෙස් යුත්
රන් පට වන් සුනිමල් නලලින් ඳුල්
සේ දවහත් තරු සේ උනු ලොම් දා
හේ ඔබ වේ යැ පියා නර සී වූ


පුණ්‍යානුමෝදනාව
නරසීහ ගාථා මෙසේ සිංහලට පරිවර්ථනය කිරීමට දායක වූ යම්තාක් පිරිසක් වෙත්දැ ඒ සියල්ලන්ටම, පින් සිදු වේවා! උතුම් වූ චතුරාර්ය සත්‍ය වහා අවබෝධ වේවා!
මෙම ලිපිය කියවා, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්නා ඔබටත් පින් සිදු වේවා! එසේ පැහැදුන සිත සංසාර දුකින් ඒතෙර වීමට ම උපකාරී වේවා!
තෙරුවන් සරණයි!

පොතුහැර මහා සුප් දන්සැල, 10 වන වරටත්. ඔබ සැමට ආරාධනා!



පොතුහැර ඉහල දිග්ගලේවත්ත තරුණ කැළ විසින් සංවිධානය කරන මහා සුප් දන්සැල මෙවරත් අති සාර්ථක 10 වන වරට පොතුහැර තැපැල් කාර්ය්‍යාලය අසලදී වෙසක් පුර පසලොස්වක දින රැය පහන් වනතුරු පවත් වයි. ඒ සඳහා සහභාගී වන ලෙස පින්වත් ඔබ සැමට කරන ආරාධනයි මේ.

පසුබිම
පොතුහැර ඉහල දිග්ගලේ වත්ත තරුණ කැළ ලෙසින් අප (මා එවකට තරුණයෙක් නොවූ අතර එවක සිටි තරුණයින් දැන් තාරුණ්‍ය පසුකරත් ඇත. ලෝකයේ ධර්ම තාව එසේ උවත් අපගේ එකමුතුව තාමත් තරුණය ) 1995 වසරේ පමන සිට සම්බුදු තෙමඟුල නිමිත්තෙන් විවිධ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් ගෙන් සමන්විත ආගමිග වැඩසටහන් සංවිධානය කරන්නෙමු. ඒ අතර කැරකෙන කූඩු, වෙසක් තොරන, සීල ව්‍යාපාර හා දන්සැල් විශේෂ තැනක් ගනී. 

ඉන් සුවිශේෂී වන්නේ අදින් වසර 10 ට පෙර 2002 වසරේ වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් අප සංවිධානය කල සුප් දන්සැලයි. එවකට ඒ සඳහා ලැබුන විශාල ප්‍රතිචාරය නිසා මෙම පින්කම නොකඩවාම පුරා වසර 9 ක් අඛන්ඩ්ව පවත්වාගෙන ඒමට අපට හැකිවින.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ඡයන්තිය සමරන මේ වෙසක් පුන් පොහෝ දින අපගේ දන්සැල පවත්වන්නේ 10 වෙනි වරටය. පොතුහැර ඉහල දිග්ගේවත්ත ප්‍රදේශවාසීන්ගේ ඉමහත් පරිශ්‍රමයෙන් ද, ධන පරිත්‍යාගයෙන් ද, පොතුහැර පුරාන විහාරාධි පති ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන්ද, මඟපෙන්වීමෙන් හා දායකත්වයෙන් ද මෙම දන්සැල පින්වත් ඔබ වෙනුවෙන්ම සංවිධානය වෙයි.

ඔබගේ වන්දනාගමනේ ගිමන නිවන, පවස නිවන, කුසගින්න නිවන අපගේ සුප් දන්සැල වැඳගන්නාමෙන් ඔබ හැමට නැවතත් සාදර සිතින් ආරාධනා කරමි.
  • දාතම - ශ්‍රී බුද්ධවර්ශ 2555 ක් වූ වෙසක් මස වෙසක් පුන් පොහෝ දින.
  • ස්ථානය - කුරුණෑගල කොළඹ (6) පාරේ පොතුහැර නගරයේ තැපැල් කාර්ය්‍යාලය අසල.
  • වේලාව - රාත්‍රී 7.30 සිට රැය පහන් වනතුරු.
තෙරුවන් සරණයි!