Tuesday, July 26, 2011

රෝදය නවතන රෝදක...


රථ වාහනයක් හෝ බයිසිකලයක් පදවන ඔබට ඉතා වැදගත් අංගයක් වන්නේ රෝදක එහෙමත් නැත්නම් තිරිංගයි. ඇත්තෙන්ම තිරිංග නොමැති නම් රථ වාහන වලින් අපට ප්‍රයෝජනයක් ගත නොහැකී. ඇත්තෙන්ම වාහනයක තිරිංග පද්ධතිය යනු කුමක්ද?

වාහනයක තිරිංග පද්ධතිය යනු වාහනයේ චාලක ශක්තිය, තාප ශක්තිය බවට හා විභව ශක්තිය බවට හරවන සුවිශේෂී පද්ධතියකි. වාහනය පාලනය කරගැනීම සඳහා රියදුරාට මෙම තිරිංග පද්ධතිය මහෝපකාරී වේ. ඉතින් ඔබ තිරිංග යෙදූ විට කුමක් සිදුවේද? වඩා සරළ මට්ටමෙන් එය මෙසේ පැහැදිළි කරගනිමු.

ඔබ තිරිංග පාදුකාව (brake paddle) මත බලයක් යෙදූ විට එම බලය කීප ගුනයකින් වැඩිකර(මේ සඳහා විවිධ උපක්‍රම භාවිතා කරයි, ඒවා දීර්ඝ වශයෙන් පැහැදිළි කිරීම මේ ලිපියේ අරමුන නොවේ ) රථයේ රෝද ආසන්නයට සම්ප්‍රේශණය කරයි(මේ සඳහා යාන්ත්‍රික ක්‍රමයක් හෝ ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශණ ක්‍රමයක් හෝ රික්තය භාවිතා කරයි.) රථයේ රෝදය ආසන්නයේ රෝදයත් සමඟ භ්‍රමණය වන කොටසක් හා ඒ මත, තිරිංග පද්ධතියෙන් ලැබෙන බලයෙන් එකී භ්‍රමණයට ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලයක් සැපයිය හැකි භ්‍රමණය නොවන කොටසකුත් ඇත. තිරිංග යෙදූ විට එම කොටස මඟින් යටකී රෝදයත් සමඟ භ්‍රමණය වන කොටසට විරුද්ධව බලය සපයයි. එහිදි චලනය වන කොටසක් චලනය නොවන කොටසක් හා එකිනෙක ගැටීම නිසා එම පෘශ්ඨ දෙක මත සාපේක්ෂ චලිතයක් ඇතිවී තාපය නිපදවේ. මෙසේ තාපය ලෙස හානි වන්නේ වාහනයේ රෝද මඟින් ලැබෙන චාලක ශක්තියයි(පහත රූපය බලන්න, පැහැදිළි කරගැනීමේ පහසුව සඳහා මෙහි දක්වා ඇතේ ද්‍රවස්ථිතික බල සම්ප්‍රේශණයක් සහිත, භ්‍රමණය වන කොටස තැටියක් වන Disk Brake තිරිංග පද්ධතියකි).

දැන් ඔබේ රථයේ චාලක ශක්තියෙන් කොටසක් තාපය ලෙස හානි වී ඇත, එනම් දැන් ඔබේ රථයේ වේගය අඩු වී ඇත. මීලඟට තවත් අසිරිමත් කාරණාවක් සිදුවෙයි,

ඔබ දන්නවා ඔබේ රථයේ බඳ (Body) රෝද මත දුනු මඟින් අවලබ්භනය (Suspension) කර ඇති බව. මෙසේ කර ඇත්තේ ඔබට සුව පහසු ගමනක් සලසා දීම සඳහා පමණක්ම නොවේ. ඔබ තිරිංග යෙදූ විට මේ අවලම්භන පද්ධතියේ ඇති දුනු හැකිලීමට ලක්වේ. මෙසේ දුනු හැකිලීමට ශක්තිය සැපයෙන්නේද රථයේ චාලක ශක්තියෙනි. එවිට රථයේ චාලක ශක්තියෙන් කොටසක් මෙම දුනු හැකිලීම සඳහා වැයවන නිසා රථයේ චාලක ශක්තිය අඩුවේ, එනම් රථයේ වේගය අඩුවේ.

එබැවින් වාහනයේ තිරිංග හොඳින් ක්‍රියා කිරීමට නම් රථයේ අවලම්භන පද්ධතියත් මනා ක්‍රියාකරීත්වයෙන් තිබිය යුතුයි. කෙසේ වෙතත් වාහන වල තිරිංග පද්ධති කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා රිය පැදවීම ණුවනට හුරු නොවන අතර සෑම විටම හදිසියේ තිරිංග යෙදීමට සිදු නොවන ලෙස රථය පැදවීම ඉතාම වැදගත් ය. තවද රථය දීර්ඝ පල්ලම් බැසීමකදී දිගටම තිරිංග යොදාගෙන යනවාට වඩා අඩු ගියරයක ගමන් කරමින් තිරිංග මත යෙදෙන බලයෙන් කොටසක් ගියර් පෙට්ටියට හා එන්ජිමට ලබාදීමට කටයුතු කිරීමෙන් රථයේ තිරිංග පද්ධතිය අධික ලෙස රත්වීමෙන් සිදුවන හානි මඟහරවාගත හැක.

මීලඟට ඔබ තිරිංග යෙදීමේදී මේ ගැනත් සැලකිළිමත් වන්න, "මිනිසත් බව දුර්ලභයි - ප්‍රවේශමෙන් රියපදවන්න" යන කියමන තරයේ සිහිතබාගන්න. ඔබට සුභ ගමන්!


Sunday, July 17, 2011

ඉන්ටකූලර් (Intercooler)


90 දශකයේ මුල්බාගයේ ලංකාව පුරා කතාබහට ලක්වූ උනුසුම් මාතෘකාවක් වූයේ ඉන්ටකූලර් ය. ඒ මැති ඇමති වරුන් සඳහා 'ඉන්ටකූලර් වාහන' ලබාදීමත් සමඟය. එවකට බොහෝ දෙනා සතුව(දැනටත්) ඉන්ටකූලර් යනු කුමක්දැයි අවබෝධයක් නොතිබුන අතර බොහෝදෙනා සිතුවේ එය අධි සුකෝපභෝගී වාහන වර්ගයක් කියා ය. මා ද ඉන්ටකූලර් පිළිබඳව තරමක අවබෝධයක් ලබාගත්තේ මෑතකය. පසුගිය දින වල මෙකී 'ඉන්ටකූලර් වාහනයක්' පාවිචි කිරීමට ලැබුන නිසා මේ පිළිබඳව මතකය නැවතත් අළුත් විය. එහෙයින් ඉන්ටකූලර් යනු කුමක්දැයි සරළව මෙසේ සටහන් කර තැබීමට අදහස් කලෙමි. 

ඔබට අභ්‍යන්තර දහන එන්ජිමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික දැනුමක් නැති නම් මේ ලිපිය කියවීමට පෙර මා කලින් අභ්‍යන්තර දහන එන්ජිම ගැන ලියූ මේ ලිපිය කියවන්න. තවද ඔබට ටර්බෝවක ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික දැනුමක් නැති නම් මා මීට කලින් ලියූ ටර්බෝව පිළිබඳ මේ ලිපිය කියවන්න.  

සරලවම කියන්නේ නම් ඉන්ටකූලර් පද්ධතියක් මඟින් සිදුකරන්නේ අභ්‍යන්තර දහන එන්ජිමක ඉන්ධන දහනය වීමේ කාර්යක්ෂමතාව වැඩිකිරීමයි. මෙය සිදුවන්නේ කෙසේ දැයි අප සොයා බලමු. කලින් සඳහන් කල ටර්බෝවකින් එන්ජිමට දහනය සඳහා අවශ්‍ය වාතය වැඩි වැඩියෙන් සැපයීම මඟින් එන්ජිමේ දහන කාර්යක්ෂමතාව වැඩිවන අයුරු අප සොයාබැලුවෙමු. ඉන්ටකූලර් පද්ධතිය සෑම විටම යෙදෙන්නේ මේ ටර්බෝ චාජරයට (හෝ සුපර් චාජර්යට) පසුවය. මෙහිදී සිදුකරන්නේ ටර්බෝව මඟින් ඇද දුන් වායු ධාරාව සිසිල් කිරීමයි. එවිට කුමක් සිදුවේද?


ඔබ දන්නවා ඝණ ද්‍රව හා වායු රත්කිරීමේදී ප්‍රසාරනය වන බව. එයිනුත් වායුවක පරිමා ප්‍රසාරණය ඝණ හා ද්‍රව වලට සාපේක්ෂව වැඩිය. එහෙයින් අපට මෙවැනි සම්භන්ධයක් ගොඩනැගිය හැක, 
α T
මෙහි V යනු වායුවේ පරිමාව වන අත T යනු (නිපේක්ෂ)උශ්ණත්වයයි.
මෙයින් අපට පෙනීයන්නේ උශ්ණත්වය වැඩිවනවාත් සමඟ වායුවේ පරිමාව වැඩිවන බවත්, එනම් ඒකක පරිමාවක ඇති වායු අනු ප්‍රමාණය අඩු වන බවත් ය.එනම් ඒකක පරිමාවක ඇති වායු අනු ප්‍රමාණය n හා  T යනු (නිරපේක්ෂ)උශ්ණත්වය නම්,
α 1/T
මේ සංසිද්ධිය සරළව මේ කාරනයට ගලපා ඉදිරිපත් කරන්නේ නම්,
රත්වූ වායුව ලීටරයක් එන්ජිමට සැපයූ විට වායු අනු 100ක් එන්ජිමට ලැබේ නම්, සිසිල් වායුව ලීටරයක් එන්ජිමට සැපයූ විට වායු අනු 120ක් පමන එන්ජිමට ලැබේ (මෙම ඉලක්කම් පරිමාණයට නොවේ, අදහස පැහැදිළි කිරීමට අහඹු ලෙස යොදාගත් ඒවාය ). එනම් ඉන්ටකූලර් පද්ධතියක් මඟින් එන්ජිමේ චූෂණ වායුවේ පරිමාමිතික කාර්යක්ෂමතාව (volumetric efficiency) වැඩිකර ඇත. 

ඒ අනුව අපට පැහැදිලි වන්නේ සිසිල් වායුව ඒකක පරිමාවක් ලැබීමේදී සාපේක්ෂ රත්වූ වාත පරිමාවක් ලැබීමට වඩා වැඩි වායු අනු ප්‍රමාණයක් ඇති බවත්, එමඟින් දහනය සඳහා අවශ්‍ය වාතය(වායු අනු ) තවත් වැඩියෙන් එන්ජිමට ලැබෙන බවත් ය. මෙසේ ඉන්ධන දහනය සඳහා වාතය සුලභ වූ විට එන්ජිම තුලදී වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය වෙයි (එනම් නොදැවී ඉවත යන ඉන්ධන ප්‍රමාණය අඩුවෙයි ). එනම් එන්ජිම තුල ඉන්ධන ආසන්න වශයෙන් පූර්ණ දහනය වීමක් සිදුවෙයි.

කතාව ඉතාම සරලවම කියන්නේ නම්, ටර්බෝ ඉන්ටකූලර් පද්ධතියක් සහිත වාහන වල ඉන්ධන කාර්යක්ෂම තාව එම පද්ධතියක් නොමැති වාහන වලට වඩා ඉතා හොඳය, එබැවින් එන්ජිම මඟින් සැපයෙන ජවයද සාපේක්ෂව වැඩිය.

එබැවින් 'සැප වාහන' වල වැඩි ජවයක් ලබා ගැනීමේ අරමුනින් ද, බර වාහන වල ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිකරගැනීමේ අරමුනින් ද ටර්බෝ ඉන්ටකූලර් පද්ධති ඒවායේ එන්ජින් වලට සවිකරනු ලැබේ. මෝටර් රථ ධාවන තරඟ වලට යොදාගන්නා වාහන වල ඉන්ටකූලර් පද්ධති වල පංකාවට අමතරව තවත් සිසිල් කිරීමේ අරමුනින් ඉන්ටකූලරය මතට ජලය ඉසීමේ හෝ අයිස් යෙදීමට හැකිවන පරිදි විශේෂ වෙනස් කම් ද සිදුකර ඇත.




Sunday, July 10, 2011

2600 ශ්‍රී සද්ධර්ම ජයන්තිය


අප මහා සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ අදින් වසර දෙසහස් හයසියයකට පෙර වෙසක් පුන් පොහෝ දින සියළු ලෝක සත්වයා කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් යුතුව ගයාහිස නේරංජනා නදී තෙරදී ශ්‍රී සම්බුද්ධත්වය සාකෂාත් කළ සේක. ඒ සමඟම දෙවියන් බඹුන් සහිත මේ තුන්ලොවෙහිම ඉතාම දුර්ලභව පහලවන්නා වූ රත්නයක් වන ශ්‍රී සම්බුද්ධ රත්නය පහල විය. බුදුන්වහන්සේ සම්බුද්ධත්වයෙන් පසු දින හතලිස් නවයක් මුළුල්ලේ සමාපත්ති සුවයෙන් වැඩසිට කළගුණ සැලකීම දෙවියන්ගේ සැක දුරුකිරීම හා තමන්වහන්සේ ගුරු උපදේශය නැතිවම තමන්වහන්සේ විසින්ම අවබෝධකරගත් ශ්‍රී සද්ධර්මය මෙනෙහි කිරීමෙහි යෙදිය සිටි සේක. 

බුදුන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් පනස්වන දිනයේදී තපස්සු භල්ලුක වෙළඳුන් දෙපළ වෙත ශ්‍රි සද්ධර්මය දේශනා කිරීමත් සමඟම ඔවුන් බුද්ධ රත්නයේත් ධර්මරත්නයේත් දෙරුවන් සරණ ගිය ගෞතම බුදු සසුනේ පළමු ශෘතවත් ආර්ය ශ්‍රාවකයන් බවට පත්විය. ඉන් පසුව එලැඹුන ඇසල පුන් පොහෝ දිනදී ප්‍රථම ධර්මදේශනාව ඉසිපතනයේ මිගදායේදී පස්වග තවුසන් උදෙසා දේශණා කරනලදී. 

ඒ ධර්මදේශණාවත් සමඟම මේ තුන්ලොවෙහිම ඉතාම දුර්ලභව පහලවන්නා වූ රත්නයක් වන ශ්‍රී සද්ධර්ම රත්නය පහල විය. ඒ සදහම්දහම් ශ්‍රවණය කරනුවස් බොහෝ දෙවියන් බ්‍රහ්මයන් ද රැස්වින. එහිදී බුදුරජානන් වහන්සේ දේශණා කළ  ධම්මචක්ක පවත්තන සූත්‍රය අසා කොන්ඩඤ්ඤ තවුසානන් සෝවාන් ඵලය අවබෝධකරගත් සේක. එහිදී උන්වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාවට පත්විය. ඒ සමඟම මේ තුන්ලොවෙහිම ඉතාම දුර්ලභව පහලවන්නා වූ රත්නයක් වන සංඝ රත්නය ලොව පහල විය. 

ඒ අයුරින් ධර්මරත්නයත්, සංඝරත්නයත් ලොවැ පහල වී එලැඹෙන ඇසල පොහොය දිනට වසර දෙදහස් හයසියයක් සම්පූර්ණ වෙයි. එවන් පින්බර සමයෙක අපත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධකරගෙන සසර දුකෙන් අතමිදීමට වීර්යෙන් යුතුව කටයුතු කරමු. ඔබ සැමට මේ ජීවිතය තුලදීම උතුම් වූ සදහම් ඇස පහල වී සසර දුකෙන් අතමිදීමටම හේතුවාසනා වේවා!
තෙරුවන් සරණයි!

Monday, July 4, 2011

පෙට්‍රල්...?!

පෙට්‍රල් වාහන වල ඉන්ධන ලෙස භාවිතා කරන පෙට්‍රල් වල මූලික අන්තර්ගතය වන්නේ ඔක්ටේන් (Octane ) නැමති හයිඩ්‍රෝ කාබනයයි (C8H18). මෙහි සමාවයවික 18 ක් පමන ඇති අතර Iso-octane සමාවයවිකය (2,2,4-Trimethylpentane) දහන කාර්යක්ෂමතාව ඉතාම වැඩි සමාවයවිකයයි. මීට අමතරව පෙට්‍රල් වල පෙන්ටේන් (C5H12), හෙක්සේන් (C6H14) සහ හෙප්ටේන් (C7H16) යන හයිඩ්‍රෝකාබන ද සුළු වශයෙන් අඩංගු විය හැක.

රථවාහන සඳහා නිකුත් කරන ඔක්ටේන් 90 සහ ඔක්ටේන් 95 යන වර්ග වල පෙට්‍රල් වල වෙනස වන්නේ ඔක්ටේන් 90 පෙට්‍රල් වල අන්තර්ගතය 90% ක් ඔක්ටේන් වන අතර ඉතිරි 10% ක පමන පෙන්ටේන්, හෙක්සේන් හා හෙප්ටේන් වැනි වෙනත් හයිඩ්‍රෝකාබන අඩංගු වෙයි. නමුත් ඔක්ටේන් 95 පෙට්‍රල් වල 95% ම ඔක්ටේන් වන අතර වෙනත් හයිඩ්‍රෝකාබන ඇත්තේ 5% ක් පමන සුළු ප්‍රමානයකි. එබැවින් සම පරිමාවක් දහනය කල විට ඔක්ටේන් 90 පෙට්‍රල් වලට වඩා ඔක්ටේන් 95 පෙට්‍රල් වලින් වැඩි තාප ශක්තියක් ලබාදෙයි. එබැවින් ඔක්ටේන් 95 පෙට්‍රල් යෙදූ විට වාහනයක ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිය.

වාහන වල පෙට්‍රල් දහනය වීමේදී ඇතිවන ගැස්ම වැලැක්වීමට "Antiknock agent" පෙට්‍රල් වලට මිශ්‍ර කරයි. මෑතක් වන තුරු මේ සඳහා ඊයම් භාවිතා කල අතර එමගින් වන පාරිසරික හානිය නිසා දැන් ඊයම් මිශ්‍ර නොකරන අතර මේ සඳහා ඇල්කොහොල, ඊතර හෝ ඇරෝමැටික හයිඩ්‍රෝකාබනයක් (එනම් ඒකජ හා ද්විත්ව භන්ධන දෙකම සහිත කාබන් පරමාණු ඇති හයිඩ්‍රෝකාබන ) භාවිතා කරයි. එමගින් පෙට්‍රල් වල ඇති වහා ගිනිගන්නාසුළු බව පාලනය කරයි. නැතහොත් වාහන වල එන්ජින් තුලදී අනවශ්‍ය අවස්ථා වලත් පෙට්‍රල් දහනය වී එන්ජිමේ ක්‍රියාකාරීත්වය අඩාල කරයි. සාමාන්‍යයෙන් පෙට්‍රල් අවර්ණ වන අතර හඳුනාගැනීම සඳහා වර්ණකයක් භාවිතා කරයි. එමෙන්ම පෙට්‍රල් වල කිසිම අවක්ෂේපයක් සිදුවන්නේද නැත.

ඉන්ධන ලෙස භාවිතා කරන පෙට්‍රල් වල ඉහත සඳහන් කල ද්‍රව්‍ය වලට අමතරව වෙනත් අපද්‍රව්‍ය අඩංගු ඉතාමත් අල්ප වශයෙනි. සාමාන්‍යයෙන් පෙට්‍රල් වල අපද්‍රව්‍ය අල්ප නිසා පෙට්‍රල් වාහන වල පෙට්‍රල් පෙරනයක් භාවිතා නොවන අතර පෙට්‍රල් පෙරනයක් තිබුනත් එය ඩීසල් වාහන වල ඇති ඩීසල් පෙරනය මෙන් කාර්යක්ෂම එකක් නොවේ. එබැවින් පෙට්‍රල් වල පමනට වඩා අපද්‍රව්‍ය තිබුන හොත් වාහනයේ කොටස් වලට නිතැතින්ම හානි ගෙනදේ.

අපිරිසිදු පෙට්‍රල් නිසා වාහන, පන නොගැන්වීම, පනගැන්වීමට අපහසු වීම, පනගැන්වුනත් එන්ජිම මද වේගයේ (Idle) ධාවනය නොවීම, එන්ජිම වේගයෙන් ක්‍රියා නොකිරීම, එන්ජිමේ ශබ්දය වෙනස් වීම, එන්ජිමෙන් ලැබෙන බලය අඩු වීම, එන්ජිම අසාමාන්‍ය ලෙස ගැස්සීම, අධික ලෙස ඉන්ධන පරිභෝජනය කිරීම වැනි හානිදායක තත්වයන් ඇතිවිය හැකියි.

ඔබේ වාහනයටත් අපිරිසිදු පෙට්‍රල් ඇතුළු වී ඇත්නම් සහ ඉහත ලක්ෂණ ඇත්නම් වාහනය තවදුරටත් ධාවනය නොකරන්න. වාහනයේ ඉන්ධන ටැංකියේ ඇති සියළුම ඉන්ධන ඉවත් කර (මේ සඳහා ඉන්ධන ටැංකිය යට කරාමයක් ඇත ) පිරිසිදු පෙට්‍රල් බව තහවුරු කරගත් පෙට්‍රල් නැවත දමා කලත්තා එම පෙට්‍රල් ද සම්පූර්ණයෙන් ඉවත් කර නැවත පිරිසිදු පෙට්‍රල් වලින් ටැංකිය පුරවන්න. මෙහිදී ඔක්ටේන් 95 පෙට්‍රල් භාවිත කල හැකි නම් ඉතාම හොඳය. ඉන්ධන ටැංකියද ගලවා පිරිසිදු කල හැකි ද නම් තවත් හොඳය. වායු පෙරනය ද ඉතා හොඳින් පිරිසිදු කරන්න, නැතහොත් අලුතෙන් යොදන්න. පෙට්‍රල් පෙරනය ද පිරිසිදු කරන්න නැත්නම් අලුතෙන් යොදන්න. දැන් වාහනය පනගන්වා එන්ජිමට සාමාන්‍ය වේගයෙන් (Idle) ටික වේලාවක් ධානවන වන්නට සලස්වන්න. පසුව කිලෝමීටර 50 ක් පමන ධාවනය කර එන්ජිමේ ක්‍රියාකාරීතවය යථා තත්වයට පත්ව ඇත්දැයි බලන්න.

තවදුරටත් එන්ජිම අසාමාන්‍ය ගැස්සීම් පනගැන්වීමේ අපහසු තා, ශබ්දයේ වෙනස්කම් වැනි ලක්ෂණ ඇත්නම් වාහනය වහාම පළපුරුදු දක්ෂ කාර්මිකයෙකු ලවා කාබියුරේටර් සේවාවක් (කාබියුරේටරයක් සහිත වාහනයක් නම්) හෝඅ EFI සේවාවක් (EFI සහිත වාහනයක් නම්) සිදුකරගන්න. නැවත පෙට්‍රල් යෙදීමේදී ද පෙට්‍රල් වල පිරිසිදු බව ගැන සැලකිලිමත් වන්න.