Monday, August 22, 2011

                                               ඉඩෝරය...

නිරුදක මහ පොලොව ඉරිතලා
නිලට දිලුන කෙත්වතු පඬු පැහැ වෙලා
දනන් තුඩ තුඩ රැඳුන හසරැලි සැඟවිලා
සතා සිව්පා කුරුළු කොබෙයි මුළුගැන්විලා
එහෙත්...
දිනිසුරු නැත කිසිත් කරුණා
නුඹ ගැබ නොමැත මේකුළු අරා
නිශාව රජයයි තුරු කැළ නොබා
නල නැති ලොවම නිසලයි සදා 
නවතින්න...
දිනිඳු ඔබැ රුව සඟවාගන්න
මද නල අහසෙ මේකුළු පුරවාලන්න
හැම සතුනගෙම පවස සනහන්න
සොබා දිනිතිය වැසි බිඳක් සලන්න...
-ටී.බී-


Monday, August 15, 2011

ක්ෂුද්‍ර තරංග උඳුන (Microwave Oven)



ක්
ෂුද්‍ර තරංග උඳුන බොහෝ විට ඔබ එදිනෙදා භාවිතයේදී ආහාර රත්කරගැනීම සඳහා භාවිතා කරයි. නමුත් මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ මදකට සිතා බැලුවාද?
ක්ෂුද්‍ර තරංග උඳුනක න්‍යාය වන්නේ ඔබේ ආහාරයේ ඇති ප්‍රධාන වශයෙන් ජල අණු අනුනාද වීමට සලස්වා එමඟින් තාපය නිපදවීමයි. කෘතකම්පනයේ විශේෂ අවස්ථාවක් වන අනුනාදය නැමති සංසිද්ධිය ඇතිවන අයුරු සරළව දක්වන්නේ නම් මෙහිදී සිදුවන්නේ, ක්ෂුද්‍ර තරංගයේ සංඛ්‍යාතයට අනුව ජල අණු චලනය වීමයි, මෙසේ 'අනුව චලනය වීම' නැතහොත් 'අනුව නාද වීම' අනුනාදය ලෙස හඳුන්වයි.

මේ සිද්ධිය ඔබ එදිනෙදා අත්විඳ ඇතුවාට සැක නැත. උදාහරණයක් ලෙස පාරේ වාහනයක් යන විට නිවසේ ඇති ජනෙල් වීදුරු කම්පනය වනවා ඔබ දැක ඇත. එය සිදුවන්නේ අනුනාදය නිසයි. එනම් වාහනයෙන් නැගෙන කිසියම් සංඛ්‍යාතයක් අනුව වීදුරුව කම්පනය වීමයි. වස්තූන් මෙසේ අනුව නාද වන සංඛ්‍යාතය එම වස්තුවේ ස්වභාවික සංඛ්‍යාතය ලෙස හඳුන්වයි.

මේ සඳහා මෙම උඳුන් වල භාවිතා කරන්නේ සංඛ්‍යාතය 2.5GHz  පමන වන ක්ෂුද්‍ර තරංගයි. ඉහතින් දක්වා ඇති විද්‍යුත් චුම්භක වර්ණාවලියේ පරිදි මේ තරංග වල තරංග ආයාමය කුහුඹුවෙක් පමන (1cm ට අඩු ) වේ. එකී වත්කම් ඇති ක්ෂුද්‍ර තරංගම මේ සඳහා විශේෂයෙන් යොදාගෙන ඇත්තේ මේ සංඛ්‍යාතයේදී ජල අනු අනුනාද වන නිසාත්, ප්ලාස්ටික් වීදුරු සෙරැමික්.. අනු මෙම සංඛ්‍යාතයේදී අනුනාද නොවන නිසාත් ය. සරලව දක්වන්නේ නම් එම සංඛ්‍යාතය භාවිතා කිරීම නිසා ආහාරය රත්වන අතර ආහාරය අඩංගු භාජනය රත්වන්නේ නැත. එසේ ජල අනු පරමාණුක චලිතයකට ලක්වීම නිසා තාපය ලෙස ශක්තිය මුදාහරී. ඕනෑම පදාර්ථයක් 'රත්වෙනවා' යැයි කියන්නේ එහි ඇති අනු වල චලිතය වැඩි වීමයි.

උදාහරණයක් ලෙස ඔබ යකඩයක් ගිනිදැල්ලකට අල්ලා රත්කරනවා යැයි සිතන්න. එහිදී ගින්න මඟින් යකඩයේ අනු වෙතට තාප ශක්තිය ලබාදෙයි. ඒ ශක්තිය ලබාගන්නා යකඩ අනු සිය චලිත වේගය වැඩිකරගනී (ඕනෑම  පදාර්ථයක අනු සෑම විටම චලනය වෙමින් පවතී. බුදුරජානන් වහන්සේ දේශණා කර ඇති පරිදි වස්තූන්ගේ අනිත්‍ය ස්වභාවය එනම් නිශ්චිත අයුරකින් පවතින්නේ නැති බව මේ මඟින් සක්සුදක් සේ පැහැදිලි වේ. ඔබ යකඩයක්, ගලක්, මිනිසෙක්, වාහනයක්... ලෙස හඳුනාගන්නා එනම් සඥාව උපදවාගන්නා භෞතික වස්තූන් කිසිවිටෙකත් නිශ්චිත අයුරකින් නොපවතී. ඒවායේ තැනුම් ඒකකයේ සිටම ඒවා නිතර වෙනස් වෙමින් චලනය වෙමින් නිශ්චිත නොවී එනම් අනිත්‍යව පවතී. එනම් ඔබ මේ මොහොතේ දුටු යකඩය, ගල, මිනිසා, වාහනය... ඔබට නැවත කිසිදාක දක්නට නොලැබෙන අතර එහි මේ ක්ෂණයේ තිබූ තත්වයට වඩා වෙනස් ආකාරයක් ඔබට ඊලඟ ක්ෂණයේදී දක්නට ලැබෙයි. නමුත් අප මේ භෞතික වස්තු උපාදානය කරගන්නා සැටිත්, සිතේ අනිත්‍ය ස්වභාවයත් වැනි ලෝකෝත්තර වූ කාරනාත් මෙතැනට උපයෝගී වේ. ඒ පිළිබඳව දීර්ග වශයෙන් විස්තර කිරීම මේ ලිපියේ අරමුන නොවේ). එවිට අප යකඩය රත්වූවා යැකි කියයි. මෙහිදී යකඩ අනු වලට ශක්තිය සැපයූවේ ගින්දර මඟිනි. නමුත් ක්ෂුද්‍ර තරංග උඳුනකදී මේ සඳා ඉහත සඳහන් කල විශේෂ අනුනාද වීමේ උපක්‍රමය භාවිතා කරයි. පහත සන්නිදර්ශණය මඟින් එය තවදුරටත් වඩාත් පැහැදිළි වෙයි.

ක්ෂුද්‍ර තරංග උඳුනක තාපන මූලාවයවය වන්නේ (Magnetron) නැමති කොටසයි. මෙමගින් ඉහත සඳහන් කල ආකාරයේ ක්ෂුද්‍ර තරංග නිපදවයි. මේ සඳහා අධිවෝල්ටීයතාවක් හා චුම්භක භාවිතා කරයි. 
Magnetron උපකරණයේ පැති පෙනුම
Magnetron උපකරණයේ පිටුපස පෙනුම

Magnetron උපකරණයේ ඉදිරිපස පෙනුම
ඉහත රූපයේ දැක්වෙන්නේ මේ කොටසේ ඉදිරිපස ඇති ප්‍රතිදාන ඇන්ටෙනාවයි. මෙම කොටස මඟින් ක්ෂුද්‍ර තරංග නිකුත්වීම සිදුවේ. මෙය ආහාරය දෙසට යොමු කර ඇත. මෙහි දැක්වෙන පරිදි නිවුම් වරල් (තහඩු පතුරු මෙන් ඇති කොටස්) දෙපසින් ඇත්තේ චුම්භක දෙකකි. පැතිපෙනුම රූපයේ මැද ඇති රිදී පාට කොටස මෙහි ඇනෝඩයයි. මෙය යකඩ සිලින්ඩරයක් වන අතර මෙහි අභ්‍යන්තරයේ කුටීර වලට බෙදා ඇත. මෙහි පිටුපස පෙනුමෙහි දැක්වෙන කොටස තුල කැතෝඩය අඩංගු වේ.  විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍රයක් හරහා ඉලෙක්ට්‍රෝන චලිත වීමට සලස්වා මෙහිදී ක්ශුද්‍ර තරංග නිපදවයි.ක්ෂුද්‍ර තරංග මඟින් පිසින ලද ආහාර වල ආරක්ෂිත භාවය පිළිබඳව විවිධ මත පළවේ. කෙසේ නමුත් මේ අහාර විකිරණශීලී වීමේ ඉඩකඩ බොහෝ සෙයින් අඩුය. නුමුත් ක්ෂුද්‍ර තරංග නිසා ආහාර වල රසායණික ව්‍යුහයේ යම් යම් වෙනස්කම් සිදුවිය හැක.

Sunday, August 7, 2011

සෙනෙහස දල්වා සඳ මිණි කැන් ඇතිරූ, අපේ ගුරු දෙවිවරු...

(මේ ලිපිය ආත්ම වර්ණනාවක් යැයි ඔබට හැඟේ නම්, මෙහි හරය ඔබෙන් ගිලිහුනාහු වෙති.)
අපට මේ මහා ධරණී තලයේ දෙපයින් ඍජුව සිටගැනීමට අවශ්‍ය ශක්තිය සැපයූවේ අපේ ගුරු දෙවිවරුය. ඒ සඳහා නිවසේ 'පුබ්බාචරිය' වන දෙමව්පියන්ගේ පටන්, ප්‍රථම උපාධි පර්යේෂණ නිබන්ධනයේ අධීක්ෂක ගුරු භවතා දක්වා සෑම ගුරු දෙවිවරයෙකුගෙන් ම ලැබුන නොමසුරු දායකත්වය අමිලය අනුපමේය ය. එයිනුත් අපගේ උසස් පෙළ ගුරු දෙවිවරු අපගේ මතකයේ වෙසෙසින් සටහන් වන්නේ අපේ ජීවිතයේ කිසියම් කඩඉමක් තරණය කිරීම උදෙසා ඔවුන් අපට මග සලකුණු දක්වන හෙයිනි. 

එකී මඟ හසර අනුව යමින් අප කිසියම් කඩඉමක් තරණය කොට ජීවන දුර්ගය තරණය ඇරඹීමට පෙර අපට මඟ සළකුණු දැක්වූ එකී ගුරුදෙවි වරුන්ගේ සුවදුක් බෙදා හදාගැනීමට අප ඊයේ ඉසිඹුවක් නැවතුනෙමු...

පාසලේදී අපට භෞතික විද්‍යාව, රසායණ විද්‍යාව හා ජීව විද්‍යාව ද, ඒ සියල්ලටම වඩා අපට ජීවිතය කියාදුන් අපේ ඒ අතීත ගුරු මෑණිවරුන් පියවරුන් මුනගැසීමට එකල එකම පන්තියේ, එකම බත් පත බෙදාගත් අප මිතුරන් පස් දෙනෙක් ඊයේ ගියෙමු. 

එයින් මගේ අනෙක් මිතුරන් සිව්දෙනාම කොළඹ වෛද්‍යපීඨයේ අවසන් වසර වෛද්‍ය සිසුන් බව මා මෙහි සඳහන් කරන්නේ ඉමහත් ආඩම්බරයෙනි. තවද අප උසස් පෙල පංතියේ සිටි මිතුරන් 37දෙනාගෙන් දස දෙනෙක් පමන දැනට වෛද්‍ය සිසුන් වන අතර එයින් බහුතරය කොළඹ වෛද්‍ය පීඨයේ බවත්, කීපදෙනෙක් හැරෙන්නට ඉතුරු සි‍යළුදෙනාම ප්‍රථම උපාධිය සම්පූර්ණ කර ඇති බවත්, අනෙකුත් සෑම අයෙක්ම තම පවුලේ ව්‍යාපාරය හෝ තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් මෙහි ලා සඳහන් කරන්නේ සාඩම්බරයෙනි.

අප මුලින්ම ගියේ අපේ ජීව විද්‍යා ගුරුතුමිය වූ 'ස්වර්ණා මැඩම්' හමුවීමටය. එතුමිය දැන් විශ්‍රාමියකය. දීර්ඝ කාලයක් අප විදුහලේ සේවය කර ඇති එතුමිය මගේ අප්පච්චී උසස් පෙළ ශිෂ්‍යයෙකුව සිටි කාලයේදීත් අප පාසලේ සේවයකර ඇති බව අප්පච්චී මට පවසා ඇත. 'ස්වර්ණා මැඩම්' අපට මවක, යෙහෙලියක මෙන් ඉතා සමීපය. අපට පාසලෙන් කලින් පිටවීමට අවශ්‍ය වූ විය එතුමිය නිල වශයෙන් ම අපව පාසලෙන් පිටත් කල හැටි මට අද වාගේ මතකය. ඒ නිසාම දෝ වසර 5ට පමණ පසුවත්, මැඩම් ට අපව වෙන් වෙන් වශයෙන් මතක තිබින. අප එකිනෙකාගේ තොරතුරු විමසූ එතුමිය ඉතාමත් සතුටට පත් විය. ඇත්තෙන්ම ගුරුවරුනට ඇති අමිල වූ සතුට සිය ගෝලයින්ගේ අභිවෘද්ධිය නොවන්නේ දැ...
පාද පද්ම නමස්කාරයෙන් අප එතුමියගෙන් සමුගත්තේ රසබර මතකයන් රැසකුත්, නැවත මුනගැසෙන බලාපොරොත්තුවත් සිතෙහි දරාගෙනය.

අප මීලඟට ගියේ අපේ 12/13B2 පංතිභාර ගුරුතුමිය වූ 'මානෙල් මැඩම්' මුනගැසෙන්නටය.එතුමිය අපේ රසායන විද්‍යා ගුරුතුමියයි. සුපුරුදු සිනහවෙන්, ලෙන්ගතුකමින් අපව පිළිගත් එතුමිය, කොන්ඩය කොටට කපා සිටි අපේ එක් මිතුරෙක් දැක විශ්ම්ය මුසු හාස්‍යයෙන් කම්මුලෙහි අත තබාගන්නට විය. ඉතා දිගු වේලාවක් යටගියාව සිහි කල අප එකිනෙකාගේ තොරතුරුද එතුමිය විමසීය. ඒ දවස් වල පිපෙට්ටුවෙන් විවිධ රසායණික ද්‍රව්‍ය කලිසම් තුලට වත් කල සැටිත්, අපේ මිතුරෙක් පිපෙට්ටුවකින් භෂ්මයක් පානය කල සැටිත්, විවිධ රසායන විද්‍යා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකල හැටිත්, පන්තියේ ගුරුවරයෙක් නැතිවිට කලිසම් කකුල් මේස් දෙක අස්සේ ඔබාගෙන කොසු මිටි වලින් වෙඩි තබාගත් හැටිත් ඉතාමත් රසවත්ව සිනහ මුසු මුහුනෙන් සිහිපත් කලෙමු. මෙහිදී මගේ සිත විශ්මයට පත් කල කරුණක් වූයේ, වසර 5කට පමණ පසුවත් මැඩම් ට, අප පන්තියේ වාඩිවී සිටි පිළිවෙල පවා මතකයේ තිබීමයි. පන්තියේ මා අසුන්ගෙන සිටි තැන නිවැරදිවම එතුමිය සඳහන් කල විට මා විශ්මයට පත් උනෙමි.


තවමත් සේවයේ නියුතු එතුමිය, 2003 වසරේ අප විදුහලට පැමිණ මුලින්ම පංති භාරකාරත්වය දැරුවේ අප පංතියයි. එම පන්තිය ඉතාම සාර්ථක පංතියක් බව මා නැවතත් මතක් කල යුතු නැත. එමෙන්ම බාලිකා පාසල් වල සේවය කර අප විද්‍යාලයට පැමිණි පසු තරමක නුපුරුදු ගතියක් දැනුන බවත්, අපද කොළු ගැටයින් ලෙස කටයුතු කල අයුරුත් එතුමිය සිහිපත් කරන්නට විය. මෑතකදී අලුතෙන් පත්වීම් ලැබී ආ තරුණ ගුරුතුමියක් මුහුණ පෑ සිද්ධියක් ද අපට විතර කරන ලදී.

සෑම හමුවීමක් ම වෙන්වීමකින් කෙලවර බව තවුරු කරමින් අප මානෙල් මැඩම් ගෙන් සමුගත්තේ එතුමියගේ පාද පද්ම නමස්කාර කරමිනි. වචනයෙන් නොකීවත් අප සෑම කෙනෙකුගේම සිතේ රැඳුනේ 'ආයෙත් ඒ පාසල් කාලයට යන්නත ඇත්නම්' යන සිතුවිල්ල බව අප එකිනෙකාගේ මුහුණු වලින් පිළිඹිඹු විය...

අප මීලඟට මුනගැසුනේ අපගේ භෞතික විද්‍යා අචාර්ය තුමා වූ 'විමලරත්න සර්' ය. දුටු සැණින් ම පාද පද්ම නමස්කාර කර අප එතුමා වටකරැගෙන සිටගත්තේ නිරායාසයෙන්මය. අහෝ! එවකට කලුවන් ව තිබූ එතුමාගේ හිස සුදු පැහැයට හැරී ඇත. මෙනුමෙන් බොහෝ දුරට ගුණදාස කපුගේ ශූරීන් මෙන් වූ විමලරත්න සර්, ඉතාම නිවුන පුද්ගලයෙකි. හදවතින් ම නැගුන සිනහවෙන් අප පිළිගත් එතුමා දැන් විශ්‍රාම සුවයෙන් පසුවන බව පැවසීය. "හරීම නිදහස් පුතේ දැන් නම්, ඉතාම සැහැල්ලුවෙන් වගකීම් වලින් මිදිල නිදහසේ ඉන්නව" එතුමාගේ සුපුරුදු වාග් විලාශය මා වහාම වසර 5ක් අතීතයට රැගෙන යන ලදී.

වසර 35 ක ගුරු ජීවිතයට ආයුබෝවන් කියා ඉතාමත් සැහැල්ලුවෙන් ජීවිතයේ සැඳෑ සමය එතුමා ගත කරයි. එතුමා සඳහන් කල පරිදි පසුගිය වසර 60ට එතුමා අප විද්‍යාලයේ රැඳී නැත්තේ වසර 4ක කාලයක් පමණි, ඒ එතුමා පේරාදෙණිය සරසවියේ ගතකල වසර 4පමණි. අප විදුහලෙන් අධ්‍යාපනය ලද එතුමා පේරාදෙණිය සරසවියට ඇතුලත්ව, නැවතත් ගුරුවරයෙකු ලෙස අප විද්‍යාලයටම පැමිණ තිබේ. එවක පටන් විශ්‍රාම ගන්නා තුරුම අප විද්‍යාලයේ භෞතික විද්‍යා අචාර්ය වරයෙකු ලෙස එතුමා සේවය කර ඇත. ඒ තොරතුරු වලින් මම විශ්මයටත් සතුටටත් පත් උනෙමි.

මෙතුමා අපට භෞතික විද්‍යා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සියල්ලම එලෙසින්ම සිදුකල අතර විශය නිර්දේශයත් කිසිදු අඩුපාඩුවක් නොමැතිව සර්ව සම්පූර්ණව උසස් පෙළ විභාගයට වසරකට පමණ කලින් ආවරණය කරන ලදී. එතුමා ම සඳහන් කරන පරිදි එතුමා විශ්ව විද්‍යාලයේ සිටින කාලය තුල සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොණික විද්‍යාව තිබී නැත. නමුත් එසේ තිබියදීත් අපට උසස් පෙලට අවශ්‍ය එම කොටස් එතුමා ම අධ්‍යයනය කර  අපට ඉතාම මැනවින් පහදා දෙන ලදී. ඇත්තෙන් ම මට භෞතික විද්‍යාව පිළිබඳ උනන්දුවක් ඇතිවූයේ එතුමා නිසාය. එතුමාගේ සටහනේ ඇති පැහැදිළි බව නිසා මා භෞතික විද්‍යාව සඳහා පිටු 400 ක වෙනමම සුදු පිට කවරයක් දැමූ පොතක් භාවිතා කලෙමි. එහි '05.05.05' දිනය සටහන් කල බවද මට අද මෙන් මතකය. ඒ පොත අද ද මා සතුව සුරක්ෂිතව ඇත.

දිනක් අප භෞතික විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකමකදී ගෝල මානය භාවිතා කර ගෝලයක වක්‍රතා අරය සෙවීමට කටයුතු කලෙමු. එහිදී අප වෙත ලැබුන ගෝල මානය තරමක් බරැති තනිකර පිත්තලෙන් නිමවූ එකකි. එහි 'MADE IN GREAT BRITAIN' කියා ද සඳහන් ව තිබුනි. පෙනුමෙන් ම එය තරමක් පැරණි බව පෙනෙන්නට විය. අප එහි වයස පිළිබඳ අනුමාන කරමින් සිටියදී එතැනට පැමිනි විමලරත්න සර් පැවසූයේ "හේරත්, මමත් උසස් පෙල කරන කාලෙ පාවිච්චි කලේ ඔය ගෝල මානය මයි" කියාය, ඒ ඇසූ අප විශ්මයට පත්වූයෙමු. තවත් ඉතාමත් රසවත් කතා විමලරත්න සර් සමඟ ඇති අතර ලිපිය දීර්ග වන නිසා ඒවා මෙහි සඳහන් නොකරමි.

විශ්‍රාම ගැනීමෙන් පසුව එතුමා කිසියම් ශල්‍ය කර්මයකට භාජනය වූ බවත්, එහිදී සම්භන්ධ වූ බොහෝමයක් වෛද්‍ය වරු එතුමාගේ ගෝලයන් වූ බවත් එබැවින් ඉතාම පහසුවෙන් ඒ කටයුතු කරගත් බවත් එතුමා අප සමඟ සඳහන් කලේ ඉතාමත් සතුටෙනි. ජීවිතයේ කොතෙකුත් භාධක පැමිනියත් තම රාජකාරිය අකුරටම් ඉටු කල බවත්, අවම වශයෙන් නිවාඩු ලබාගත් බවත් (මට ද මතක පරිදි සර් අප සිටි වසර 2 1/2 පමන කාලයටම ලබාගත්තේ එකම එක නිවාඩුවක් පමණි ) එතුමා මතක් කර සිටියේ පුරාජේරුවක් වශයෙන් නොව අපට ආදර්ශයක් වශයෙනි.

විශ්‍රාම සුවයෙන් දහමට නැඹුරු සරල දිවි පෙවෙතක් ගත කරන එතුමා අප සැමගේ පැමිණීමෙන් ඉතාමත් සතුටට පත් විය. රෑ බෝ වූ හෙයින් අප එතුමාගේ පාද පද්ම නමස්කාර කොට එතුමාට සමු දී පැරණි මතකයන් සිත්හි දරාගෙන ආපසු නිවෙස් බලා එන්නට පිටත් උනෙමු...

ඉඳින් අපගේ ගුරු දෙවි වරුන් වූ ඔබට මේ ලිපිය උපහාරයක් ම වේවා! ඔබට චිරං ජයතු!

Tuesday, August 2, 2011

ස්පන්ද පරිනාහ මුහුර්ජනය (Pulse Width Modulation)



කිසියම් විදුලි උපකරනයක විද්‍යුත් සැපයුම මඟින්  එම උපකරනයේ ප්‍රතිදානය පාලනය කල හැකි නම් එවැනි උපකරන වල ප්‍රතිදානය පාලනය කිරීම සඳහා යොදාගන්නා උපක්‍රමයක් ලෙස ස්පන්ද පරිනාහ මුහුර්ජනය (Pulse Width Modulation) හැඳින්විය හැක.

උදාහරණයක් ලෙස විදුලි බුබුලක් කෙරෙහි අවධානය යොමු කරමු. විදුලි බුබුලේ දීප්තිය අඩු වැඩි කරගැනීමට විදුලි බුබුලට සපයන වෝල්ටීය තාව අඩු වැඩි කල හැක. නමුත් මෙහිදී වෝල්ටීයතාව අඩු වැඩිකිරීමට කිසියම් විශේෂ යන්ත්‍රණයක් අවශ්‍ය වේ (ධාරී නියාමකයක්, විචල්‍ය ප්‍රතිරෝධකයක් හෝ අමතර බැටරියක් වැනි...)

නමුත් එවැනි යන්ත්‍රණයන් භාවිතය අපහසු/අකාර්යක්ෂම තැන් වලදී (උදාහරනයක් ලෙස සංඛ්‍යාංක විද්‍යුත් පරිපත (Digital Electronic circuit) ) අපට වෙනත් විකල්පයක් ලෙස මේ ස්පන්ද පරිනාහ මුහුර්ජනය (Pulse Width Modulation) යොදාහත හැක. මෙහිදී සිදුවන්නේ කුමක් ද?

අපගේ අවධානය නැවතත් ඉහත විදුලි බුබුල කෙරෙහි යොමුකරමු. එම විදුලි බුබුලට නියත විද්‍යුත් සැපයුමක් කඩින් කඩ ලබාදෙන්නේ යැයි සිතන්න. එවිට කුමක් සිදුවේද? සැපයුම ලැබෙන විට ආලෝකයත් සැපයුම නොලැබෙන විට අඳුරත් ඇතිවේ. මෙය සීඝ්‍රව සිදුවන විට සිද්ධිය සම්ප්‍රයුක්තයක් ලෙස අඩ අඳුරක් ඇතිවේ. එනම් සැපයුම කඩින් කඩ සැපයීමේ සීඝ්‍රතාව මත විදුලි බුබුලේ දීප්තිය අඩු වැඩි කල හැක. මේ සඳහා අවශ්‍ය වන්නේ ස්විච්චයක් පමනි. පහත සන්නිදර්ශනය බලන්න,


ඉහත 1 අවස්ථාවේදී බැටරියට බල්බය ඍජුවම සම්භන්ධ අතර මෙහිදී බල්බයේ උපරිම දීප්තිය ලැබේ. 2 අවස්ථාවදී ස්විච්චයක් මගින් තරමක් අඩු සීඝ්‍රතාවයකින් සැපයුම භාධා කරයි. එහිදී බල්බයේ සම්ප්‍රයුක්ත දීප්තිය අඩුය. 3 අවස්ථාවේදී වඩා සීඝ්‍රයෙන් සැපයුම භාධා කරන අතර එහිදී බල්බයේ දීප්තිය 2 අවස්ථාවට වඩා වැඩිය.  ස්පන්ද පරිනාහ මුහුර්ජනය (Pulse Width Modulation) දී සිදුවන්නේ මේ සංසිද්ධියයි. 

මෙහිදී, ඒකක කාලයක් (T) තුලදී සැපයුම ලබාදෙන කාලය (T0) නම් ඒවායේ අනුපාතය (T0/T), කාර්ය චක්‍රය(Duty Cycle) ලෙස හඳුන්වන අතර එම අගය වැඩි වන විට ප්‍රතිදානය තීව්‍ර වන අතර(බල්බයේ නම් දීප්තිය වැඩි වේ) අඩු වන විට ප්‍රතිදානය මන්ද්‍ය වේ(බල්බයේ නම් දීප්තිය අඩු වේ) . පහත රූපය බලන්න,


ධාරා නියාමනය හෝ විචල්‍ය ප්‍රතිරෝධ භාවිතයට වඩා ස්විච්චීකරනය සංඛ්‍යාංක තාක්ෂණයේදී ඉතා පහසු කාරනයක් නිසා බොහෝ විට සං ඛ්‍යාංක තාක්ෂණයේදී තීව්‍රතා පාලනයට මේ ක්‍රමය යොදාගනී. මේ ක්‍රම්ය මඟින් බල්බයක දීප්තිය, මෝටරයක භ්‍රමණ වේගය, තාපන දඟරයක උශ්ණත්වය වැනි... සාධක පාලනය කිරීමට යොදාගත හැක.