Wednesday, January 19, 2011

ලංකාවෙ තියන සුපිරිම ලැප්ටොප් එක


තාක්ෂණය හැම මොහොතකම දියුණු වෙනව. පරිගණක තාක්ෂණයත් ඒ වගේමයි. අද තියන එක නෙමේ හෙට තියෙන්නෙ. ඒ අතරෙ විටින් විට ඉතා විශිෂ්ඨ නිමාණ බිහිවෙනව. ඒ වගේ සුපිරි යන්ත්‍රයක් ගැන තමා මේ ලිපියෙන් විස්තර කරන්න යන්නෙ. මේ ලැප්ටොප් එක අද ලංකාවෙ තියන මේ විධිහේ  performance තියන  එකම ලැප්ටොප් එක. මේ ලැප්ටොප් එක පරිගනක ක්‍රීඩා ව්ඩාත් උසස් ලෙස ධාවනයට උචිත වන ලෙස සියලු අයුරින් සකසා ඇත. සියලුම Graphic details උපරිම කර Anti-aliasing  ද උපරිම කර දැනට ලෝකයේ ඇති ඕනෑම පරිගනක ක්‍රීඩාවක් මෙහි කිසිදු Slow වීමක් නොමැතිව ධාවනය කල හැක.

මෙහි හිමිකරුවාගේ (මගේ සමීප මිත්‍රයෙක් වන ඔහුගේ  අනන්‍යතාව, ඔහුගේ ඉල්ලීම පරිදි මෙහි සඳහන් නොකරමි ) අවශ්‍යතාව පරිදි විශේෂයෙන්ම සැකසූ මේ ලැප්ටොප් එක ALIENWARE M-15X මාදිලිය පාදක කරගත් එකකි. මේවා නිශ්පාදනය කරන්නේ DELL ආයතනය මඟිනි.  ඇණවුම් කිරීමෙන් පසු (ලංකාවේ සිට නොවේ, මේ සඳහා වෙලඳ නියෝජිතයන් ලංකාවේ නොමැත) මෙය ඔහු අතට පත්වීමට සති තුනක් පමන ගතවුනු අතර ඒ කාලය තුලදී ඔහුගේ ලැප්ටොප් එක කර්මාන්ත ශාලාව තුල නිපදවෙන අයුරු දැකබලාගැනීමේ අවස්ථාවද ලැබින.

මෙහි ඇති අංගෝපාංග මෙසේ දැකිවිය හැක,
  • Intel 840QM quad core i7 1.77 GHz 8 CPUs  (Task Manager හි CPU ප්‍රස්තාර අටක් පෙන්වයි )
  • nVidia Geforce GTX 460M 1.5GB Dedicated memory (දැනට nVidia නිපදවන වේගවත්ම GPU එක)
  • 4GB DDR3 1066MHz RAM (8GB දක්වා පුළුල් කල හැක)
  • 320GB 7200RPM Desktop class HDD
  • 15.6' Full HD 1080P Display (Native desktop resolution = 1920X1080 )
  • Blue-Ray Optical Driver
  • Cooler Master 2200-5600 DPI Adjustable and Weight Adjustable game mouse
මෙම පරිගනකය Overclock කිරීම නිශ්පාදකයා අනුමත කරයි. Overclock කල විට නිපදවෙන අධික තාපය උරාගැනීම පිණිසම මෙහි බඳ තනා ඇත්තේ තඹ වලිනි. මේ නිසාම මෙම ලැප්ටොප් පරිගනකය සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගනකයකට වඩා විදුලිබලය භාවිතා කරයි (ක්ෂමතාව 150W). එමෙන්ම බැටරියද විනාඩි 20ක් පමණ භාවිතා කල හැක.

පහත ඡායාරූප වල දැක්වෙන පරිදි මෙම ලැප්ටොප් එකෙහි විවිධ තැන් වර්ණවත් ආලෝකධාරා මඟින් වර්ණවත් කල හැක.  ඒ සඳහා තොරනක මෙන් විවිධ රටා වලට එම වර්ණ වෙන්ස්වීමටද සැකසිය හැක.

Keyboard එක කොටස් 4ට බෙදා වර්ණගැන්විය හැක

ආලෝක රටා සකසන මෘදුකාංගය

ලබාදියහැකි වර්ණ පෙන්වන රවුම




මෙහි mouse එකද ඉතා සුවිශේෂී එකකි Cooler Master වර්ගයේ එකක් වන මෙම mouse එකෙහි LCD Display එකක් ඇත. මෙහි DPI එක 2200 සිට 5600 දක්වා වෙනස් කරගත හැක. පරිගනක ක්‍රීඩා  සඳහා විශේෂයෙන් සකසාගතහැකි බොත්ත්ම් තුනක්ද මෙහි ඇත. එම බොත්තම් වලට විශේෂ කාර්යන් පැවරිය හැකි අතර එසේ සකසා (DPI හා mouse එක  ආලෝකමත් වන වර්ණයද ඇතුළුව) එක් එක් පුද්ගලයාට profile එකක් ලෙස එම settings මවුස් එකේම save කල හැක. Mouse එකේ බරද වෙනස් කල හැකි අතර  ඒසඳහා mouse එකේ යට පැත්තේ ඇති කුටියක නිශ්පාදකයා විසින් සපයන විවිධ ප්‍රමානයේ බර තැන්පත් කල හැක.


විවිධ පරිගනක ක්‍රීඩා සහ ඒවායේ  Graphic details...











මෙම ලැප්ටොප් එක යට පැත්තේද බැටරි බලය දැනගැනීම සඳහා බැටරි මාපකයක් ඇත.

User Manual එක

ලැප්ටොප් එකට නිතුත් කල Original Windows7 Home Premium සහ Drivers DVD
මේ සුපිරි ලැප්ටොප් එක කිලෝ 4.5ක් විතර බර වෙනව. ඒ වගේම සාමාන්‍ය ලැප්ටොප් හතර පහක වගේ මිල්ක් වෙනව මේ සුපිරි ලැප්ටොප් එක. නමුත් ගෙවන මුදලට සරිලන ක්‍රියාකාරීත්වයක් නම් තිබෙන බව අත්දැකීමෙන්ම කියන්න පුලුවන්. ඒ වගේම ඊටම සරිලන වගකීමකුත් නිශ්පාදකයා මේ සඳහා ලබා දෙනව. මුල් මාස 6 තුල අපි අතින් වෙන වැරද්දක් නිසා, ඒ කියන්නෙ බිම වැටිල, වතුර හැලිල වගේ දෙයක් වෙලා උනත් වෙන හානි වලට නිශ්පාදකය වගකියනව. මේ සියලු කාරණා සලකාබලද්දි මේක සෑම අතින්ම ඉතාම සුපිරි ලැප්ටොප් එකක්.

Saturday, January 15, 2011

බයිසිකලේ යන හැටි (කතන්දරය)


ක්දහස් නවසිය හැත්තෑ නවය අසූව කාලය යනු මෙරටට ජපානයේ නිශ්පාදිත මෝටර් සයිකල් ගෙනා මුල් කාලයයි. ඒ වකවානුවේ දිවයිනේ අස්සක් මුල්ලක් නෑර කාගේත් අවධානය යොමු වී තිබුනේ මේ නව මෝටර්සයිකල් ගැනයි. එවකට ප්‍රකටව තිබූ BSA, Triumph වැනි යුරෝපීය මෝටර්සයිකල් වලට වඩා වඩා අලංකාර හා වඩා විශ්වාසනීය මෙම නව ජපන් මෝටර්සයිකල් ගැන කාගේත් අවධානය යොමු වී තිබින.

තවද එවකට මෙම නව බයිසිකල් ප්‍රචලිත වීමත් සමඟ ඒ සම්භන්ධව සිදුවුන හදිසි අනතුරු සංඛ්‍යාවද ඉතා ඉහල යන ලදී. එබැවින් එවකට බොහෝ රොහල් වල මෙම අනතුරු වලට ලක්වන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහාම වෙනමම ඒකකයක් පවත්වාගෙන ගිය අතර එය "හොන්ඩා වාට්ටුව" ලෙස කාඅතරත් ජනප්‍රියව පැවතින. 

මේ කාලයේදී අලුතින්ම ගෙන්වා තිබූ ජපන් නිශ්පාදනයක් වන හොන්ඩා සී.ඩී 125 ටුවින් බයිසිකල් ඉතාම ප්‍රකට වූයේ එහි ඇති මනබඳිනා හැඩය, සිලින්ඩර් දෙකකින් යුත් එන්ජිම හා ඒ හා සම්භන්ධ වන විශාල නිකල් සයිලන්සර් දෙක වැනි අංගෝපාංග නිසාය. කෙසේ වෙතත් මෙම මාදිලිය දැනට දක්නට ලැබෙන හොන්ඩා සී.ඩී 125 ටුවින් මාදිලියට වඩා මදක් වෙනස් වූ අතර එය බොහෝදෙනා හැඳින්වූයේ "කබරයා මොඩල්" ලෙසය. 

"කබරයා මොඩල්"
මෙම බයිසිකලයේ අනෙක් බයිසිකල් වල නොතිබූ විශේෂ අංගයක් වූයේ පිටුපස ගමන්කරන්නාගේ පාද තබාගන්නා කොටස් දෙක  (foot rest) හැකිලීමට හැකිවන අයුරින් දෙපස ඇති සයිලන්සර් දෙකට උඩින් සවිකර තිබීමයි. පිටුපස අයෙක් ගමන් නොකරන විට මෙම පාද තබාගන්නා කොටස් දෙක (foot rest) හකුලා දැමිය හැක. මේ ගැන වැඩි අවබෝධයක් නොවූ තරමක් වියපත් කාන්ථාවකට වරක් මේ වර්ගයේ බයිසිකලයක ගමනක් යාමට සිදුවුනි. 

යම්හෙයකින් එම බයිසිකලයේ පිටුපස පාද තබාගන්නා කොටස් දෙක හකුලා තිබූ අතර එමනිසා මෙම කාන්ථාව පාවහන් ද පැළඳ නොතිබූ පාද තබාගෙන ගියේ දෙපස ඇති සයිලන්සර් දෙක මතය. මද දුරක් යත්ම සයිලන්සර් රත්වීමත් සමඟ ඇයට සයිලන්සර් මත පාද තබාගෙන යාම අසීරු විය. ඇයට මහත් අපහසුතාවක් වූ මෙයට හේතුව කුමක්දැයි නොදැන ඇය කල්පනා කලේ, අනෙක් අය අපූරුවට මෙසේ සයිලන්සර් දෙක මත පාද තබාගෙන බොහෝ දුර යන බවත් තමාට මඳ දුරක් වත් එසේ යා නොහැකි බවත් ය.

යටිපතුල් දෙක වඩවඩාත් රත්වෙද්දී ඇය පදවන්නා ට මෙසේ පැවසීය , "ඈ පුතේ, මං බැලුවෙ අනික් මිනිස්සු අපූරුවට මේකෙ කකුල් දෙක තියාගන දුර යනව, මට මේ පොඩි දුරක් මේකෙ කකුල් තියාගෙන ඇවිල්ලා යටි පතුල් දෙක පිච්චෙන්න එනව...". පිටුපස බැලූ පදවන්නාට දක්නට හැකිවූයේ පාද තබාගන්නා කොටස් දෙක හකුලා ඇති බවත්, ඇය සයිලන්සර් දෙක මත පාද තබාගෙන සිටින බවත් ය. ඔහු වහාම ඇයට පාද තබාගන්නා කොටස් දෙක (foot rest) දිගහැර දී ඒ මත පාද තබාගන්නා ලෙසට ඇයට පවසන ලදී.


Thursday, January 13, 2011

මොනවද මේ Servo මෝටර්


මෝටර් වර්ග අතරින් Servo මෝටර් විශේෂිත වන්නේ ඒවායේ ඇති ඉතා නිවැරදි ක්‍රියාකාරීත්වය නිසයි. සාමන්‍ය DC මෝටර් හා Stepper මෝටර් මෙන් නොව Servo මෝටර් ඉතා නිවැරදි සූක්ෂම ක්‍රියාකාරීත්වයකින් යුක්තයි. එමනිසා නිරවද්‍යතාව වැදගත් සාධකයක් වන යන්ත්‍ර වල මෙම Servo මෝටර් භාවිතා වේ.

ඔබ දන්නවා සාමාන්‍ය DC මෝටරයක් ධාරාව ලබා දෙන තුරු භ්‍රමනය වෙනවා. Stepper මෝටරයක් සඳහා කිසියම් රටාවකට ධාරාව සපයන විට එයද භ්‍රමනය වෙනවා. නමුත් මේ චලිතයන් සම්භන්ධයෙන් වගකීමක් මේවායේ නෑ. එනම් කිසියම් භාහිර හේතුවක් නිසා මේවායේ සිදුවන චලිතය වෙනස් විය හැකී, Stepper මෝටරයක පවා අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා (+/-1 භ්‍රමනය වන කුඩාම කෝණය ) ප්‍රමාණයේ වෙනසක් චලිතයේ සිදුවිය හැකී. 

නමුත් Servo මෝටර් වල ඇති ඍණ ප්‍රතිපෝශණ යන්ත්‍රණයක් මඟින්, අප ලාබාදෙන ආදාන සංඥාවට අදාලව නියමිත වට ගනණ භ්‍රමනය වූවාදැයි බලා චලිතයේ වෙනසක් ඇත්නම් එය මෝටරය මඟින්ම නිවැරදි කරගනු ලබයි. සරලව සඳහන් කලහොත්, ඔබ මෝටරයට වට පහක් භ්‍රමනය වීමට සංඥාවක් ලබාදුනහොත් මෝටරය නිවැරදිවම වට පහක් භ්‍රමනය වෙයි, චලිතයේ නිරවද්‍යතාව තහවුරු කරගැනීම සඳහා මෝටරය මඟින්ම සිදුවන චලිතය නිරීක්ශණය කර චලිතයට අවශ්‍ය වෙනස්කම් එමඟින්ම සිදුකරයි.

එනම් මෝටරය මඟින් ඔබේ ආදානයත්, මෝටරයෙන් ලැබෙන ප්‍රතිදානයත් (එනම් භ්‍රමන චලිතය ) ගලපා බලා, ආදානයට වඩා වෙනසක් ප්‍රතිදානයේ ඇත්නම් එය මෝටරය මඟින්ම නිවැරදි කරනු ලබයි. මේ නිසා මෙම මෝටර් වල ප්‍රධාන සැපයුම් ධාරාව වෙනමමත්, සීරියල් පාලක දත්ත ලබාදීමට වෙනම සැපයුමකුත් පවතී.

මෙම ලාක්ෂණිකයන් නිසා මෙම මෝටර් CNC යන්ත්‍ර වල, වෛද්‍ය කටයුතු වලට යොදාගන්නා රොබෝවරුන්ගේ වැනි යන්ත්‍ර වල මෙම Servo මෝටර් යොදාගනී. පහත රූපයෙන් දැක්වෙන්නේ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් මෙම Servo මෝටර් යොදාගෙන ඔවුන් විසින්ම නිපදවූ CNC යන්ත්‍රයකි.
මෙහි X හා ‍Y අක්ෂ වල චලනය සිදුකරන්නේ Servo මෝටර් දෙකක් මඟිනි. එමඟින් තබා ඇති ප්ලාස්ටික් තහඩුවේ විවිධ රටා ඉතා නිවැරදිව ලියවා ඇති අයුරු දක්නට ලැබේ.

Sunday, January 9, 2011

ඩේටාබේස් සම්භන්ධතාවෙන් වැඩගන්නෙ මෙහෙමයි

මේ ලිපියෙන් මම මුලින්ම නවීන් සහෝදරයට ස්තූති කරන්න ඕනෙ. ඔයා ඉස්සරලා ලිපියට comment එකක් දාල තියනව දැක්කහම මට ඒ ලිපියෙ ඊලඟ කොටස වන මේ ලිපිය ලියන්න හිතට ලොකු ධෛර්යක් ආව. ඔන්න ඒ නිසා නවීන් සහෝදරයට ස්තූති වෙන්න ලොකු ගැම්මකින් මේ ලිපිය ලියන්න පටන්ගත්ත. 

මම ඉස්සරලා ලිපියෙන් සඳහන් කලානෙ කොහොමද database එක connect කරන්නෙ සහ rdr object එකයි cmd object එකයි හදන හැටි. ඔන්න අද අපි මේ rdr object එකයි cmd object එකයි පාවිච්චි කරල connect කරපු database එකට query  ලියන හැටි බලමු.

insert query එකක් මම මුලින්ම පැහැදිලි කරන්නම්, ඒ වගේ තමා අනෙක් query ත් ලියන්නෙ. බොහෝවිට වෙනස් වෙන්නෙ අපි ලියන query කොටස විතරයි. Query ලියන්නෙ බොහෝවිට event එකක් ඇතුලෙ. නැත්නම් method එකක් ඇතුලෙ. මෙන්න මේ code segment එක දිහා බලන්න, ඒක ලිපෙලින් පෙල පැහැදිළි කරගමු.

VB.net :-
1. conn.Open()
2. Dim sqlstr As [String] = "insert into Table_1 values ('" + photo + "')"
3. cmd = New SqlCommand(sqlstr, conn)
4. rdr = cmd.ExecuteReader()
5. conn.Close()

C# :-
1. conn.Open();
2. String sqlstr = "insert into Table_1 values ('" + photo + "')";
3. cmd = new SqlCommand(sqlstr, conn);
4. rdr = cmd.ExecuteReader();
5. conn.Close();

1. conection එක (පෙර ලිපියේ සඳහන් කළ ) විවෘත්ත කරගැනීම. conection එක විවෘත්ත නොකර connection   එක හරහා දත්ත හුවමාරු කල නොහැක. ඒ නිසා මුලින්ම connection එක විවෘත්ත කරගත යුතුය.

2. sqlstr කියල String Variable එකක් හදල ඒකට අපට අවශ්‍ය SQL query එක assign කිරීම 
  • insert into Table_1 values... යන query එක වෙනුවට අපට අවශ්‍ය ආකාරයේ query එකක් දැමිය හැකියි
  •  " + photo + " ලෙස මෙහි සඳහන් කර ඇත්තේ photo යන (කලින් define කර initialize කල ) variable එකේ අගය නිරූපනය කිරීමටයි, ඔබට කෙලින්ම photo යන අකුරු(හෝ වෙනත් ඕනෑම අකුරු හෝ ඉලක්කම්)  දැමීමට අවශ්‍ය නම් + ලකුණු දෙක නොමැතිව කෙලින්ම ඔබට අවශ්‍ය දෙය සටහන් කරන්න.
3. cmd object එකට අපේ query එක රැගත් String variable එක pass කිරීම
4. Query එක execute කිරීමට අනකිරීම හා, එමඟින් ප්‍රතිඵලයක් ලැබේ නම් එය rdr object එකට ලබාගැනීම
5.  conection එක වසා දැමීම. පුරුද්දක් ලෙස විවෘත්ත කරගත් connection එකේ වැඩ අවසන් වුනු පසු connection එක වසා දමන්න.

මූලික කරුණු ටික ඔහොමයි. ඔයාලට මේ සම්භන්ධයෙන් වැඩියෙන් දැනගන්න අවශ්‍ය වන දේවල් තියනවනම් අවශ්‍යතාවය comment වල සඳහන් කරන්න. ඒ වගේම මේ ගැන ඔබේ යෝජනා චෝදනා හා අදහසුත් comment කරන්න. එමඟින් ඉදිරි ලිපි වඩා සාර්ථකව ඔබ වෙත ගෙන ඒමට හැකියාව ලැබේවි. 

Friday, January 7, 2011

C# වලට VB.net වලට ADO.net Database එකක් Connect කරන හැටි

පරිගණක මෘදුකාංග නිර්මාණය කිරීමේදී අපට බොහෝවිට උවමනා වෙන දෙයක් තමයි අපේ මෘදුකාංගයට Database එකක් සම්භන්ධ කර ගැනීම. අපි බොහෝවිට භාවිතා කරන C# සහ VB.net වලට ADO.net මඟින් SQL Database එකක් සම්භන්ධ කරගන්න ආකාරය පියවරින් පියවර බලමු.

1. මුලින්ම SqlClient කියන reference එක add කරගන්න, මේ සඳහා;
    C#  වලදී නම්:- 
  using System.Data.SqlClient;  මේ code එක namespace එකට උඩින් සටහන් කරන්න

  














VB.net  වලදී නම්:-
    Imports System.Data.SqlClient මේ code එක declarations  සටහන් වල කරන්න

  














2. Connection එක initialize කරන්න

SqlConnection conn = new SqlConnection("Data Source=THILINA-PC\\SQLEXPRESS ;Initial Catalog=thili;Integrated Security=SSPI");











C# සඳහා ඉහත code එක ඒ සඳහා භාවිතා කරන්න, VB.net වලදී මෙම code එකේ මුලට Dim යන keyword එක දමා අවසානයේ ඇති ; (semicolon) එක ඉවත් කර භාවිතා කරන්න.
  • මෙය Class එක තුල හෝ Event එකක් තුල සිදුකළ හැක.
  • මෙහි Data Source එක  වන්නේ SQL මඟින් පෙන්වන  SQL Server Name එකයි.
  •  Initial Catalog එක  වන්නේ ඔබේ Database එකේ නම්යි.
  • Integrated Security මඟින් ඔබේ Database එකේ User Name හා Password ලබා දිය හැකී. Database එක එසේ ලොක් කර නැත්නම් මෙය SSPI ලෙසම තබන්න. 
3. Reader (rdr) Object එක සහ Command (cmd) Object එක සාදන්න.
  • Reader (rdr) Object එක
    • C#  වලදී නම් SqlDataReader rdr = null;
    • VB.net  වලදී නම් Dim rdr As SqlDataReader = Nothing
  • Command (cmd) Object එක
    • C#  වලදී නම් qlCommand cmd;
    • VB.net  වලදී නම් Dim cmd As SqlCommand  
මෙම object දෙක SQL quarry ලිවීමේදී, ඒවා execute කිරීමේදී හා ලැබෙන ප්‍රතිඵලය ග්‍රහනය කරගැනීමේදී මහෝපකාරී වේ. දැන් ඔබේ ඩටබසෙ එක ඔමේ මෘදුකාංගය සමග සම්භන්ධවී අවසන්, දැන් එමගින් ඔබේ ඩටබසෙ එකට විධාන දීමටත් එමඟින් එන ප්‍රතිඵල ග්‍රහනය කරගැනීමත් සිදුකළ හැකියි. 

එම කාරනා සිදුකරන ආකාරය විමසා බැලීමට ප්‍රථම මේ ලිපියෙන් ඉදිරෙපත් කළ කරුණු පිලිබඳ ඔබේ අදහස් යෝජනා සහ චෝදනා සියල්ල Comment ලෙස දමන්න. එමගින් ඉදිරි ලිපි වඩා ඵලදායී ලෙස ඔබ හමුවේ තැබීමට හැකිවනු ඇත.

Monday, January 3, 2011

ඩීසල් එන්ජිම

ඩීසල් එන්ජිම අභ්‍යන්තර දහන එන්ජින් තාක්ෂණයේ විප්ලවයක් කල සොයාගැනීමක්. ජර්මන් ජාතික ශීතකරන ඉන්ජිනේරු වරයෙක් වන රුඩොල්ෆ් ඩීසල් තමයි ඒ සොයාගැනීම සිදුකලේ. වර්ශ 1894 සිට 1897 දක්වා ඔහු සිදුකළ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස වර්ශ 1897දී පළමු සාර්ථක ක්‍රියාකාරී ඩීසල් එන්ජිම නිපදවන්නට ඔහුට හැකිවුනා.

ඩීසල් එන්ජිමේ විශේෂත්වය  වන්නේ එහිදී භාවිත වන ඉන්ධනය වන ඩීසල්, දහනය කිරීමට පෙට්‍රල්, භූමිතෙල් හෝ ගෑස් එන්ජිමක මෙන් වෙනම සපයන ගිනි පුළිඟුවක් භාවිතා නොකිරීමයි. එම නිසා ඩීසල් එන්ජිම ස්වයං දහන එන්ජිම ලෙසත් හඳුන්වනව.  ඩීසල් එන්ජිමේදී දහන කුටීරය තුල තාපය නිපදවීමට සලස්වා එම තාපයෙන් ඩීසල් දහනය වීමට සලස්වයි.

අපි දැන් ඩීසල් එන්ජිමක් ක්‍රියා කරන්නේ කේසේදැයි විමසා බලමු. දෙපහර ඩීසල් එන්ජිමක ක්‍රියාකාරීත්වය තරමක් සංකීර්ණ නිසාත් ඒවායේ භාවිතය අඩු නිසාත් (ලංකාවේ භාවිතාවන කැනේඩියානු දුම්-රිය එන්ජින් දෙපහර ඩීසල් එන්ජින්ය )මේ සඳහා අපි සිවු පහර ඩීසල් එන්ජිමක් දෙස අවධානය යොමු කරමු.

ඩීසල් එන්ජිමක් PV=nRT යන සමීකරණය අනුගමනය කරයි. භෞතික විද්‍යාව හදාරා ඇති අයට නම් මෙම සමීකරණය ඉතා හුරු පුරුදුය. කෙසේ වෙතත් මෙහිදී;

P=දහන කුටීරය තුල පීඩනය,
V=දහන කුටීරයේ පරිමාව,
n=දහන කුටීරය තුල ඇති වායු හා ඩීසල් මිශ්‍රණයේ අණු ප්‍රමාණය
R=වායු නියතය,
T=දහන කුටීරය තුල උශ්ණත්වය, ලෙස අර්ථ දැක්විය හැක.

නවත්වා ඇති එන්ජිම පනගැන්වීමේදී භාහිර යන්ත්‍රණයක් මගින් එන්ජිම භ්‍රමණය කළ යුතු වේ(මෙහිදී විදුලි මෝටරයකින් හෝ අතින් භ්‍රමණය කිරීමක් සිදුකරයි ). මෙහිදී පළමුව දහන කුටීරය තුලට වායුව ඇදගැනීම සිදුවේ (චූශන පහර ). මේ සඳහා එන්ජිම වට 1/2 ක් භමණය විය යුතුය.


ඉන්පසුව මීළඟ වට 1/2 තුලදී වායු ඇදගැනීම හා පිටවීම වැලකී ඇදගත් වායුව සම්පීඩනය වීමට පටන්ගනී


ඩීසල් දහනය වීමට අවශ්‍ය තාපය නිපදවෙන්නේ මෙම සම්පීඩන පහර නිසාය. මෙහිදී ඉහත සමීකරනයට අනුව V අඩුවීම නිසා P වැඩිවෙයි, එනම් පිස්ටනය දහන කුටීරය දිගේ ඉහලට තල්ලු වීම නිස දහන කුටීරය තුල පරිමාව අඩු වී පීඩනය වැඩි වෙයි. නමුත් වාතය සම්පීඩ්‍ය තරලයක් නිසා PV ගුණිතය නියතව පවතින්නේ නැත. එනම් සමීකරනයේ වම් අත පැත්තේ අගය වැඩි වෙයි.

දැන් සමීකරනය තුලිත වීමට දකුණු අත පැත්තේ අගය වැඩිවිය යුතුය. මේ සඳහා n වෙනස් විය නොහැක, එනම් දහන කුටීරයට අලුතින් වාතය එකතු වීම හෝ පිටවීමක් සිදු නොවන නිසා.
R යනු නියතයක් නිසා R වැඩි විය නොහැක, එමගින් ද සමීකරනය තුලිත විය නොහැක.
සිදුවන එකම කරුන නම් T වැඩිවීමයි, එනම් දහන කුටීරය තුල උශ්ණත්වය ඉහල යාමයි, එමගින් සමීකරනයේ දකුණු අත පැත්තේ අගය ඉහල යයි, දැන් සමීකරනය නැවතත් තුලිතය. මේසේ නිපදවෙන තාපය ඩීසල් දහනය කිරීමට යොදාගනී.

මීලඟට සම්පීඩන පහර අවසන් වනවාත් සමඟම දහන කුටීරය තුලට නැහැසියක් හරහා(රූපසටහන් වල උඩ නිල්පටින් දක්වා ඇති ) ඩීසල් ඉතාමත් කුඩා බිඳිති ලෙස වේගයෙන් විදිනු ලබයි. ඉහත කී පරිදි රත්වූ දහන කුටීරය තුලට, මේසේ කුඩා බිඳිති ලෙස  ඩීසල් පැමිණි විගස එම බිඳිති දහනය වී දහන කුටීරය තුල උශ්ණත්වය ක්ෂ්ණයකින් ඉහල යයි. ඩීසල් ඉතා සියුම් බිඳිති ලෙස සපයන්නේ දහනය කාර්යක්ශමව සිදුවීමටයි.

                                                             

එමනිසා සමීකරනයේ දකුණු පැත්තේ අගය වැඩිවෙයි (T වැඩිවීම නිසා ). සමීකරනය තුලිත වීමට ඊට සාපේක්ෂව සමීකරනයේ වම් පැත්තේ අගයද වැඩිවිය යුතුය. ඒ සඳහා සමීකරනයේ වම් පැත්තේ P අගය  වැඩිවෙයි(දකුණුපැත්තේ T වැඩිවීමට සාපේක්ශව ). මේ මොහොතේදී තවමත් එන්ජිම සම්පීඩන පහර අවස්ථාවේම පවතින නිසාත් දහන කුටීරය තුල පීඩනය ඉතාම ඉහල අගයකට පැමිනෙයි. මේ අධික පීඩනය නිසා පිස්ටනය පහලට තල්ලුවී දහන කුටීරය තුල පරිමාව වැඩිකරගනී, නමුත් PV ගුණිතයේ වෙනසක් සිදුවන්නේ නැත, මන්දයත් වාතය සම්පීඩ්‍ය තරලයක් නිසා එහි PV අතර සම්භන්ධතාව අරෙඛීය නිසා. මෙලෙස පිස්ටනය පහලට තල්ලු වීම බල පහරයි,
මෙලෙස බල පහරක් ලැබීම එන්ජිම පනගැන්වීමයි, දැන් එන්ජිමට භාහිර බලයක් නොමැතිව තනිවම  භ්‍රමණය විය හැක. බල පහරේදීත් එන්ජිම තවත් වට 1/2 භ්‍රමණය වේ දැන් එන්ජිම වට 1 1/2ක් භ්‍රමණය වී ඇත. 


පහලට තල්ලු වුන පිස්ටනය ජවරෝදයේ ගම්‍යතාව නිස නැවතත් ඉහලට තල්ලුවේ මෙහිදී පිටාර වෑල්වය විවෘත්ත වෙයි, එමගින් ඩීසල් දහනය වී සෑදුන වායුව (CO2 ආදී)දහන කුටීරයෙන් ඉවත්ව් යයි. මෙය පිටාර පහරයි. මෙහිදී එන්ජිම තවත් වට 1/2 ක් භ්‍රමණය වේ.

ජව රෝදයේ ගම්‍යතාව නිසා එන්ජිම තව වට 1 ක් භ්‍රමණය වී නැවතත් පිළිවෙලින්, චූශන පහරක්, සම්පීඩන පහරක් අවසානයේ නැවතත් බල පහරක් හා පිටාර පහරක් ඇති කරයි. මෙහිදී එන්ජිම තව වටයක් සම්පූර්ණ කරයි. මේ ක්‍රියාවලිය දිගටම සිදුවීමෙන් එන්ජිම දිගින් දිගටම ධාවනය වෙයි.

ඩීසල් එන්ජිමක ක්‍රියාකාරීත්වය මෙලෙස කෙටියෙන් සඳහන් කල හැක. සවිස්තරව සඳහන් කරන්නේ නම් ඉතා දීර්ඝව විස්තර කල හැක. නමුත් මෙහිලා මගේ අරමුණ වූයේ දළවශයෙන් පාඨකයාට ඩීසල් එන්ජිම ගැන අවබෝධයක් ලබාදීමයි. එම අරමුන ඉටුවුනා නම් මගේ වෑයම සාර්ථකය.