Saturday, January 7, 2012

"අනිත්‍ය"


තරමක් ජනාකීර්ණ වූ දුම්රියට ගොඩ උන මම දුම්රිය මැදිරිය තුලින් මද දුරක් ඔබ මොබ ගොස් වඩා යහපත් තැනක් බලා හරි බරි ගැහුනෙමි. දවසේ වැඩ මුරය අවසන් කොට ස්වකීය නිවෙස් බලා ඇදෙන සුවහසක් ජනයාගේ බලාපොරොත්තු දල්වාගත් දෑස් වලින් ද, විඩාබර මුහුණු වලින් ද දුම්රිය මැදිරිය පිරී තිබෙනු මා දුටුවෙමි. එනමුදු අතරින් පතර නැගෙන සිනහවෙන් ද,ම් කවට කම් වලින් ද පොපියන දෙනෙත් වලින් හා විකසිත වත කමලින් ද එහි අඩුවක් නොවීය.

දුම්රිය මැදිරිය සිසාරා ප්ලවනය වන්නට වූ මගේ අකීකරු නෙත්, එතකුදු නොනැවතී දුම්රිය මැදිරියේ හරස් දොරෙන් මැදිරි ඇමුනුම හරහා ඊලඟ දුම්රිය මැදිරියටත්, එයින් ඊලඟ දුම්රිය මැදිරියටත් වශයෙන් ගොස් තව දුරටත් යා නොහී දුම් රියඑන්ජිම මැදිරිය දක්වා ගොස් මදක් නවතින්නට විය. නැවතත් මා අසලටම මගේ නෙත් පැමිණියේ මගේ ඉහට උඩින් ඇති විදුලි පංකාවේ ස්වරය වෙනස් උන වග මගේ සවනතට වැටහුන නිසාවෙනි.

මදක් විදුලි පංකාව දෙස බලා සිටි මා නැවතත් අරමුණක් නොමැතිව මගේ හිස වෙනතක යොමුකලෙමි. එවර නම් මගේ දෙනයන ඇලවුනේ සුන්දර රුවකය. නිවැරදිවම කිවහොත් සුන්දර යුවතියකගේ රුවක ය. තව ද නෙත පමනක් නොව සිත ද එහිමැ වැදගන්නට විය. ඈ මට පිටුපා මා ඉදිරියේ සමීපවම හුදෙකලාව ගමන් ගන්නට විය. 

පුළුල් කර සහිත හැට්ටයක් ඇඳ සිටි ඇගේ පිට මැදට වැටුන කෙල් කළඹ කීකරු ය, ඝනය කළු වන් ය. ඇඟට තද වන ලෙස ඇඳ තිබූ හැට්ටය තුල ඇගේ මාංශ පේෂි මනාව ගොනු වී ඇති අයුරු නිරීක්ෂණය විය. වම් උර බාහුවේ එක් ලපයක් පමණක් දක්නට ලැබුන අතර සමස්ථයක් ලෙස ඇගේ සම පැහැපත් ය එකාකාරය සුමට ය. ඈ කෙතරම් පැහැපත් ද කියතොත්, ඈ ගෙල ලා සිටි රිදී පැහැති මාලයේ දිස්නය ඇගේ ගෙල මත ඡායාවක් මෙන් දිදුලන්නට විය.

මා ඇයව සිතින් ස්ඵර්ශ කලෙමි. ඇය උණුසුම් ය, සිනිඳුය, මෘදුය. ඒ හැඟීම නම් ඉඳුරාම පියකරු ය. මගේ ලෝකය මදකට නතර විය. එනමුදු මේ කිසිවක් ඇය නොදන්නීය. විටින් විට ඈ ඇගේ කෙල් කළඹ අනිච්ඡානුගව මෙන් සකසන්නීය. කඳුකරය දක්වා ගමන් කරන සීඝ්‍රගාමී දුම්රිය මඟ දෙපස නැවතුම් දෙස නොබලාම වැරෙන් ඉදිරියටම ඇදෙන්නට විය  

මා සිහි එලවා ගතිමි,
දිනෙක...
ඇගේ සම රැලි වැටෙනු ඇත,රළු වෙනු ඇත, සැට්ටය තුලා මනාව ගොනු වී ඇති මාංශ පේශීන්, ඒයින් මිදී ගුරුත්වයට අවනත වනු ඇත, එනයින් එහි වූ පැහැපත් බවත් ආකර්ෂණයත් පහව යනු ඇත...
ඇගේ ගෙල බැඳි මාලය මළින වනු ඇත, පිට මැදට වන් ඝණ කළු වරසල අකීකරුව සුදුමැලිව යනු ඇත,
මගේ ඇසේ පෙනීම අඩු වනු ඇත, සිතේ පරිකල්පනය ශක්තිය හීන වනු ඇත,
දුම්රිය ධාවනයෙන් ඉවත් කෙරෙනු ඇත.... 

Sunday, January 1, 2012

2012


නව හිරු කිරණ වැද
අතු අගින් විකසිතව
මුළු දියත සුවඳ කල
මල් කෙමි මතින්
වෑහෙන
රොන් සුණු සුවඳින්
සුවඳ වේවා
ඔබගෙ මේ නව වසර...!

පුරා වසරක් මා සමඟ රැඳී ඔබේ සිතුවිලි මා හා බෙදා හදාගත් සහෘද පාඨක ඔබට, මගේ බ්ලොග් අඩවියට වසරක් සපිරෙන මේ මොහොතේ මගේ ශීර්ෂ ප්‍රණාමය පුද කර සිටිමි...!   එක් වසක් මතු නොව සියවසක් කල් ඔබට බ්ලොග් අවකාශයේ රැඳෙන්නට ආසිරි...
තෙරුවන් සරණයි!