Sunday, March 6, 2011

මොකක්ද මේ ටර්බෝ? TURBO


ටර්බෝවක්, එහෙමත් නැත්නම් ටර්බෝ චාජරයක් යනු අභ්‍යන්තර දහන ඇන්ජිමක චූශන වායුවේ පීඩනය සාමාන්‍ය වායුගෝල පීඩනයට වඩා වැඩිකිරීමට යොදාගන්නා යන්ත්‍රණයකි. මෙහි මූලික සැකැස්ම නම්, එකිනෙකට ස්වායක්ත කුටීර දෙකක් තුල එකම ඊශාවක සවි කර ඇති තලබමනයක් හා කේන්ද්‍රාපසාරී පොම්පයකි. මෙහි ක්‍රියාකාරීත්වය සිදුවනුයේ තලබමනය හරහා එන්ජිමේ පිටාර වායුව ගමන් කරන විට කේන්ද්‍රාපසාරී පොම්පය කරකැවී එන්ජිමේ චූශන වායුවේ පීඩනය වැඩිකර දීමයි.  එනම් ටර්බෝ චාජරයක් කරකැවෙන්නේ එන්ජිමේ පිටාර වායුවෙන් වන අතර, මේ හා සමානම ක්‍රියාකාරීත්වයක් ඇති සුපර් චාජරයක් කරකැවෙන්නේ එන්ජිමෙන් කෙලින්ම බලය ලබාගැනීමෙනි(පටියක් හෝ දැතිරෝද මඟින්).


ඉහත රූපයෙන් දක්වා ඇත්තේ සාමාන්‍ය ටර්බෝවක ව්‍යුහයයි. මෙහි ඇති තලබමනය හරහා එන්ජිමේ පිටාර වායුව ගම්න් කරයි. එවිට එම තලබමනය භ්‍රමණය වේ, ඒ සමගම පොදු ඊශාව හා සම්භන්ධ කෙන්ද්‍රාපසාරී පොම්පයත් භ්‍රමණය වේ. එසේ කේන්ද්‍රාපසාරී පොම්පය භ්‍රමණය වන විට A සිට B දක්වා වයු ධාරාවක් වේගයෙන් ගමන්කරයි. මෙහි A කෙලවර වායු පෙරනයටත් B කෙලවර එක්ජිමේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකටත් සම්භන්ධය.

ටර්බෝ යන්ත්‍රණයක් නැති අභ්‍යන්තර දහන එන්ජිමක එන්ජිමේ දහන කුටීරය තුලට චූශන වායුව ඇතුල්වන්නේ උපරිම වශයෙන් වායුගෝල 1 ක පීඩනයකි. එන්ජිම වේගයෙන් භ්‍රමණය වන විට මේ පීඩනය නිසා එන්ජිමේ දහන කුටීරයට ඇතුල්වන වායුව ප්‍රමාණය, එන්ජිම අඩු වේගයකින් භ්‍රමණය වන විට ඇතුල් වන වායු ප්‍රමාණයට වඩා අඩුවේ, මන්ද යත් එන්ජිමේ වේගය වැඩි විට චූශණ වෑල්වය විවෘත්ත වී පවතින කාලසීමාව අඩුවන නිසා. මේ හේතුව නිසා මෙවැනි එන්ජිමක් වේගයෙන් භමණය වන විට, දහන කුටීරය තුලදී ඉන්ධන දහනයට අවශ්‍ය වාතය ප්‍රමාණවත්ව නොලැබීම නිසා දහනය අඩුවෙන් සිදුවී ඉන්ධන වලින් කොටසක් නොදැවීම අපතේ යයි.
ටර්බෝවක් සහිත අභ්‍යන්තර දහන ඇන්ජිම

මේ අඩුපාඩුව මඟහරවා ගැනීමට අභ්‍යන්තර දහන එන්ජිමක වායු චූශණ පද්ධතියට ටර්බෝවක් සවිකරයි. ටර්බෝවේ පොම්පය මඟින් එන්ජිමට අවශ්‍ය චූශණ වායුව, වායුගෝල 3-10 දක්වා වැඩි පීඩනයකින් එන්ජිම තුලට පොම්ප කරයි. එම නිසා අඩු වේලාවක් චූශණ වැල්වය ඇරී පවතින අවස්ථාව වන එන්ජිම වැඩි වේගයකින් කැරකෙන විටදී පවා එන්ජිමේ දහන කුටීරය තුලට කලින් අවස්ථාවට වඩා වැඩි වායු ප්‍රමාණයක් ඇතුල් වෙයි. එබැවින් එන්ජිම වේගයෙන් කරකැවෙන විටදී පවා දහනය කාර්යක්ෂමව සිදුවී අපතේ යන ඉන්ධන ප්‍රමාණය අවම වේ. මේ සමඟම ගම්‍ය වන කරුණ නම්, එන්ජිම අඩු වේගයකින් කරකැවෙන විට ටර්බෝවෙන් ප්‍රයෝජනයක් නොමැති බවයි. සත්‍ය වශයෙන්ම එය එසේම වන අතර, එන්ජිම අඩු වේගයකින් කරකැවෙන විට ටර්බෝව මඟහැරයාමට විශේෂ යන්ත්‍රණ්යක් මෙහි ඇත.

මීට අමතරව අභ්‍යන්තර දහන එන්ජින් ඇති ගුවන් යානා වල ද වෙනත් විශේෂ කාර්යක් සඳහා ටර්බෝවක් භාවිතාකරයි. ඔබ දන්නා පරිදි උන්නතාන්ශය වැඩිවත්ම වායු පීඩනය අඩුවේ. එනම් ගුවන් යානයක් අහසේ ඉහලට යත්ම එහි එන්ජිමට ඇතුල්වන වායුවේ පීඩනය අඩුවී, එමනිසා ගුවන් යානය ඉහල යත්ම එන්ජිමේ දහන කාර්යක්ෂම තාව අඩුවී එන්ජිමේ වේගය අඩුවේ. ගුවන් යානය පහල දී ට වඩා අඩු වායු පරිමාවක් උඩුගුවනේදී එන්ජිමට ලැබේ. මෙය ගුවන්යානා සඳහා භයානක තත්වයක් වන අතර මෙය මඟහරවා ගැනීමටද අභ්‍යන්තර දහන එන්ජින් සහිත ගුවන්යානා වල වායු චූශණ පද්ධතියට ටර්බෝවක් සවිකරයි. මෙහිදී ටර්බෝව ක්‍රියාත්මක වන්නේ ගුවන්යානයේ උන්නතාන්ශය වැඩි වන විටය. එවිට උඩුගුවනේදී පවා පහල දී මෙන් (හෝ ඊට වඩා) වායුපීඩනයකින්ම එන්ජිමට වායු සැපයුම ලැබේ.

මෙම කදිම යන්ත්‍රණය සම්භන්ධයෙන් පේටන්ට් අයිතිය ඇත්තේ ස්විස් ජාතික ඇල්ෆ්‍රඩ් බචී නම් ඉංජිනේරුවරයාටය. දෙවන ලෝක යුධ සමයේ දී රථවානහ සඳහා ටර්බෝ යන්ත්‍ර සවිකර ඇති අතර මුලින්ම නිශ්පාදන වාහන මාදිලියකට ටර්බෝවක් සවිකර ඇත්තේ 1962 දී ජෙනරල් මෝටර්ස් ආයතනයයි. මුලින්ම ටර්බෝවක් සහිත මෝටර් සයිකලයක් එලිදක්වා ඇත්තේ 1982 දී ජපානයේ හොන්ඩා සමාගම වන අතර ඒ  HONDA CX500 TURBO නම් මෝටර් සයිකල් මාදිලියයි.

4 comments:

  1. ෂහ් මේක මරු බ්ලොග් එකක් නේ...?
    පැහැදිලිව සරලව හැම දෙයක්ම...
    නියමයි... දිගටම කරගෙන යන්න ශැක්තිය ලැබේවා කියලා පතනවා...

    ReplyDelete
  2. නියමයි. සරලයි. පැහැදිලියි. ගොඩක් ලොකුවට නැතිව වරකට එක ගානෙ ඔය බොන්න අමාරු පෙති පෙව්වනං...

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න