Thursday, January 13, 2011

මොනවද මේ Servo මෝටර්


මෝටර් වර්ග අතරින් Servo මෝටර් විශේෂිත වන්නේ ඒවායේ ඇති ඉතා නිවැරදි ක්‍රියාකාරීත්වය නිසයි. සාමන්‍ය DC මෝටර් හා Stepper මෝටර් මෙන් නොව Servo මෝටර් ඉතා නිවැරදි සූක්ෂම ක්‍රියාකාරීත්වයකින් යුක්තයි. එමනිසා නිරවද්‍යතාව වැදගත් සාධකයක් වන යන්ත්‍ර වල මෙම Servo මෝටර් භාවිතා වේ.

ඔබ දන්නවා සාමාන්‍ය DC මෝටරයක් ධාරාව ලබා දෙන තුරු භ්‍රමනය වෙනවා. Stepper මෝටරයක් සඳහා කිසියම් රටාවකට ධාරාව සපයන විට එයද භ්‍රමනය වෙනවා. නමුත් මේ චලිතයන් සම්භන්ධයෙන් වගකීමක් මේවායේ නෑ. එනම් කිසියම් භාහිර හේතුවක් නිසා මේවායේ සිදුවන චලිතය වෙනස් විය හැකී, Stepper මෝටරයක පවා අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා (+/-1 භ්‍රමනය වන කුඩාම කෝණය ) ප්‍රමාණයේ වෙනසක් චලිතයේ සිදුවිය හැකී. 

නමුත් Servo මෝටර් වල ඇති ඍණ ප්‍රතිපෝශණ යන්ත්‍රණයක් මඟින්, අප ලාබාදෙන ආදාන සංඥාවට අදාලව නියමිත වට ගනණ භ්‍රමනය වූවාදැයි බලා චලිතයේ වෙනසක් ඇත්නම් එය මෝටරය මඟින්ම නිවැරදි කරගනු ලබයි. සරලව සඳහන් කලහොත්, ඔබ මෝටරයට වට පහක් භ්‍රමනය වීමට සංඥාවක් ලබාදුනහොත් මෝටරය නිවැරදිවම වට පහක් භ්‍රමනය වෙයි, චලිතයේ නිරවද්‍යතාව තහවුරු කරගැනීම සඳහා මෝටරය මඟින්ම සිදුවන චලිතය නිරීක්ශණය කර චලිතයට අවශ්‍ය වෙනස්කම් එමඟින්ම සිදුකරයි.

එනම් මෝටරය මඟින් ඔබේ ආදානයත්, මෝටරයෙන් ලැබෙන ප්‍රතිදානයත් (එනම් භ්‍රමන චලිතය ) ගලපා බලා, ආදානයට වඩා වෙනසක් ප්‍රතිදානයේ ඇත්නම් එය මෝටරය මඟින්ම නිවැරදි කරනු ලබයි. මේ නිසා මෙම මෝටර් වල ප්‍රධාන සැපයුම් ධාරාව වෙනමමත්, සීරියල් පාලක දත්ත ලබාදීමට වෙනම සැපයුමකුත් පවතී.

මෙම ලාක්ෂණිකයන් නිසා මෙම මෝටර් CNC යන්ත්‍ර වල, වෛද්‍ය කටයුතු වලට යොදාගන්නා රොබෝවරුන්ගේ වැනි යන්ත්‍ර වල මෙම Servo මෝටර් යොදාගනී. පහත රූපයෙන් දැක්වෙන්නේ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් මෙම Servo මෝටර් යොදාගෙන ඔවුන් විසින්ම නිපදවූ CNC යන්ත්‍රයකි.
මෙහි X හා ‍Y අක්ෂ වල චලනය සිදුකරන්නේ Servo මෝටර් දෙකක් මඟිනි. එමඟින් තබා ඇති ප්ලාස්ටික් තහඩුවේ විවිධ රටා ඉතා නිවැරදිව ලියවා ඇති අයුරු දක්නට ලැබේ.

1 comment:

  1. එල කිරි දැන් තමා මටත් මේ සර්වර් මෝටර් ගැන අදහසක් ආවේ

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න