Sunday, March 27, 2011

ජල ගතික ප්‍රචාලනය (Hydro Dynamic Propulsion)

කිසිම යාන්ත්‍රිකමය භ්‍රමණය වන හෝ චලනය වන කොටසක් නොමැතිව ධාවනය වන බෝට්ටුවක් පිළිබඳව තමා අද කථා බහ. ඉහත රූපයෙන් දැක්වෙන්නේ එසේ කිසිදු යාන්ත්‍රි චලිතයක් නොමැතිව මුහුදේ ගමන් කල හැකි බෝට්ටුවකි. යමාටෝ-1 ලෙස නම් කර ඇති මෙය ජපානයේ මිට්සුබිශි සමාගමේ නිශ්පාදනයකි. මෙම තාක්ෂණය භාවිතා කර නිපද වූ ලොව පළමු බෝට්ටුව වන්නේ මෙම යමාටෝ-1 බෝට්ටුවයි. 
 

මේ බෝට්ටුවේ ප්‍රචාලන මූලධර්මය අප කවුරුත් හොඳින් දන්නා ෆ්ලෙමින්ග් ගේ වමත් නියමය පාදක කර ගත්තකි. එනම් විද්‍යුත් ධාරවක් සන්නයනය වන සන්නායකයක එහි ධාරාව ගලන දිශාවට ලම්භකව චුම්භක ක්ෂේත්‍රයක් හා චලනයක් සිදුවන බවත්, ඒවා එකිනෙකට ලම්භකව වම් අතේ මහපට ඇඟිල්ල, දබරැඟිල්ල හා වෙදැඟිල්ල පිහිටන පරිදි නිරූපනය කල හැකි වීමත් ය.
ෆ්ලෙමින්ග් ගේ වමත් නියමය
විදුලි මෝටරයක් භ්‍රමණය වන්නේ මේ නියමය අනුව වන අතර, විදුලි මෝටරයක භාහිරින් තවත් චුම්භක ක්ෂේත්‍රයක් පිහිටුවා ඇති අතර සමාන චුම්භක ධ්‍රැව විකර්ශණය වන නිසා චලනයේ දිශාවට ධාරාව ගෙන යන කම්බිය, එනම් මෝටරයේ ආමේචරය භ්‍රමණය වෙයි.

මේ සිද්ධිය පාදක කරගනිමින් මෙම යමාටෝ-1 බෝට්ටුව ධාවනය වේ. මෙහිදී මෙම බෝට්ටුව මුහුදු ජලය සන්නායකයක් ලෙස සලකා මුහුදු ජලය හරහා විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමට සලස්වයි. එවිට ඊට ලම්භකව චුම්භක ක්ෂේත්‍රයක් හටහනී. බෝට්ටුවේ ඇති වෙනත් චුම්භක ක්ෂේත්‍රයක් මඟින්, ඉහත ධාරාව නිසා ඇති වූ චුම්භක ක්ෂේත්‍රය විකර්ශණය වීමට සලස්වා, චලිතය ලෙස බෝට්ටුව ඉදිරියට තල්ලු වීමට සලස්වයි. මෙය ජල ගතික ප්‍රචාලනය (Hydro Dynamic Propulsion) ලෙස හඳුන්වයි

යමාටෝ-1 ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ 1991 වසරේ දීය. මෙම බෝට්ටුව 1992 වසරේ දී ජපානයේ කෝබේ වරායේ දී නොට් 8 ක වේගයෙන්(15 පැ.කි.මී) සාර්ථක ලෙස ධාවනය කර ඇත. එනම් ලෝකයේ පළමු යාන්ත්‍රික චලිත කොටස් නොමැතිව ධාවනය වන බෝට්ටුව සාර්ථක විය. අද මෙම බෝට්ටුව කෝබේ හි නාවික කෞතුකාගාරයේ ප්‍රදර්ශණය සඳහා තබා ඇත.

මෙම ක්‍රමයෙන් බෝට්ටුවක් ධාවනය කරන විට ශබ්දයක්, දුමක් පිට නොවීම වාසි දායක කරුණු වේ. නමුත් මෙහි අධික නිශ්පාදන පිරිවැය, අධික ජව පරිභෝජනය සහ සාපේක්ෂව අඩු වේගය වැනි අවාසිදායක කරුණු නිසා මෙම තාක්ෂණය තවමත් භාවිත තත්වයේ නැත. මෙහි ඉහත අවාසි මග හැරෙන ලෙස අවශ්‍ය නවීකරණයන් සිදුකල විට වඩා විශ්වාස දායක ප්‍රචාලන ක්‍රමයක් බවට පත් වනු ඇත.

2 comments:

  1. නියමයි... ඉගෙනගත්තු තව ප්‍රායෝගික තියරියක් නෙව. ඒත් අර කිව්වත් වගේ බැටරිය ඉවර ඇති :D

    ReplyDelete
  2. Maara baduwak ne...

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න