Tuesday, October 4, 2011

වාහනයෙන් ම අසා දැනගන්න II (OBD)



පසුගිය ලිපියෙන් අප රථ වාහන වල යාන්ත්‍රික කොටස් ඉලෙක්ට්‍රොනික කොටස් වලින් ප්‍රතිස්ථාපනය වූ අයුරු සාකච්ඡා කලෙමු. එහිදී සඳහන් කල පරිදි එම සංකීර්ණ කොටස් වල ඇතිවන දෝශ හඳුනාගන්නේ කෙසේද යන්නත් ඒවා නිවැරදි කරන්නේ කෙසේද යන්නත් සරළව මේ ලිපියෙන් විමසා බලමු. ඉහත රූපසටහනේ දක්වා ඇත්තේ මේ හා සම්භන්ධ වන කොටස් වල දළ සටහනකි.

එහි දැක්වෙන පරිදි මෙම සංසිද්ධියේදී, ඉලෙක්ට්‍රොණික කොටස් හා සම්භන්ධ සංවේදක (Sensor) මඟින් නිරතුරුවම ලැබෙන දත්තයන් ප්‍රධාන පාලන ඒකකයට (ECU) සපයයි. එහිදී මෙම දත්ත සකසා බලා කිසියම් වෙනස් කමක් සහිත දත්ත හඳුනාගත හොත් ඒ පිළිබඳව කිසියම් සටහන්ක් මෙම ප්‍රධාන පාලන ඒකකයේ ඇති මතකයේ සටහන් කරයි. කිසියම් සංවේදකයක් මඟින් දත්ත ලැබෙන්නේ නැත්නම් ඒ පිළිබඳවද සටහන් කරයි. එවන් අවස්ථාවකදී ඒ පිළිබඳව ඔබව පූර්ව වශයෙන් දැනුවත් කිරීමට, ඔබේ වාහනයේ දර්ශක පුවරුවේ (Combination Meter) ඇති දෝශ ඇඟවීමේ බල්බය (MIL) දැල්වේ.

එහිදී ඔබ සිදුකල යුත්තේ පිරික්සුම් උපකරණයක් (OBD Scanner) ඔබේ වාහනය හා සම්භන්ධ කර ඔබේ වාහනයේ ප්‍රධාන පාලන ඒකකයේ ඇති මතකය පරිලෝකනය (Scan) කර බැලීමයි. ප්‍රධාන පාලන ඒකකයේ මතකයේ ගබඩා කර ඇති තොරතුරු අනුව පිරික්සුම් උපකරණය ඔබට කිසියම් කේතයක් (Error Code) පෙන්නුම් කරයි. එහිදී එම කේතයට අදාල දෝශය ඒ සඳහා වූ වගුවක් මඟින් බලාගත හැක. දෝශ හඳුනා ගැනීමේ පටිපාටිය සැකෙවින් මෙසේය. සමහර විට ඒ ඒ වාහනයට අදාල ලෙස කිසියම් විශේෂ පියවරයන් මේ සඳහා එකතුවිය හැක. තවද දෝශය හඳුනාගත් පසු අවශ්‍ය අළුත්වැඩියාව සිදුකර පසුව වාහනයේ ප්‍රධාන පාලන ඒකකයේ මතකයෙන් එම දෝශයය මකා දැමිය යුතුය. නැතහොත් රථය තවදුරටත් දෝශ සහිතවම ක්‍රියාත්මක විය හැක. මෙම කටයුත්ත ද පිරික්සුම් උපකරණය මඟින් ම පහසුවෙන් සිදුකල හැක.

 දැන් භාවිතා වන OBD පිරික්සුම් උපකරණයක් හා එහි - කූරු 16 සම්මත පුං සම්භන්ධකය (16 pin standerd male conector)



පිරික්සුම් උපකරණය සවිකිරීම සඳහා රථයේ ඇති ඡායා සම්භන්ධකය. (බොහෝ විට මෙය රථයේ ඉදිරිපස පුවරුවේ යට ස්ථානගතකර ඇත )



මෙම තාක්ෂණය මුලින්ම සාමාන්‍ය නිශ්පාදන රථවාහන සඳහා භාවිතා කලේ 70 දශකයේ මැද භාගයේදී NISSAN (එවකට DATSON ලෙස හැඳින්වින) සමාගම විසිනි. ඒ ඔවුන්ගේ 280Z මෝටර් රථ මාදිළිය සඳහා ය. මුල්කාලයේදී මෙම තාක්ෂණය නිශ්පාදකයාට අභිමත (proprietary) අයුරින් භාවිත කල අතර 1988 වසරේදී මෝටර් රථ ඉංජිනේරු සංගමය (SAE - Society of Automotive Engineering ) විසින් මෙම තාක්ෂණය ප්‍රමිතිකරණය කොට (Standardization) අද භාවිතා වන සම්මත කූරු 16 සම්භන්ධකය සහ එමගින් දත්ත හුවමාරුකිරීමේ කෙටුම්පත (Communication   Protocol) සම්මත කරන ලදී (පරිගණක වල දත්ත හුවමාරු කිරීමට භාවිතා වන TCP/IP කෙටුම්පත වැනි). වත්මන් මෝටර් රථ නිශ්පාදකයින් සිය අභිමතය පරිදි සම්මත දත්ත හුවමාරු කෙටුම්පත් 5ක් භාවිතා කරයි.

මෙම තාක්ෂණයේ වර්ථමාන තත්වය OBD-II ලෙස හඳුන්වන අතර එහි JOBD, EOBD... ආදී වශයෙන් ලෝකයේ විවිධ කලාප වලට ආවේනික වූ විචලනයන් දක්නට ලැබේ. තවද සම්මත දත්ත වලට අමතරව නිශ්පාදකයාට ආවේනික දත්ත (Manufacturer Specific Data) ලබාදෙන අයුරින් අද වන විට මෙම තාක්ෂණය නවීකරණය වී ඇත. ව්‍යාපාරික උපක්‍රමයක් ලෙස හඳුනාගත හැකි එම තත්වය නිසා, සම්මත විධි ක්‍රම තිබුනත්, විවිධ රථ වාහන සඳහා විවිද පිරික්සුම් උපකරණ හා මිල අධික මෘදුකාංග භාවිතා කිරීමට සිදුවීම මෙහි ඇති අවාසනාවන්ත තත්වයකි. 

බොහෝදෙනාට පහුවෙන් තේරුම් ගැනීම සඳහා  ලිපිය ඉතාම සරළවත්, එහෙත් එහි මූලික හරයට හානියක් නොවන අන්දමටත් ඉදිරිපත් කිරීමටත් හැකිතාක් උත්සාහ කලෙමි. කෙසේ වෙතත් ඔබට වැඩිදුර කරුණු දැනගැනීමට අවශ්‍ය නම් ටීකාවක් (Comment) මඟින් ඒ පිළිබඳව විමසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

4 comments:

  1. අපේ සනියේ ඔහොම කෑල්ලක් නෑ නේ බන් , ෆියුස් පෙට්ටිය විතරයි තියෙන්නේ, මොකෝ දැන් කරන්නේ , ඕක ගහන්න තැනක් නැද්ද වෙන කොහෙවත්

    ReplyDelete
  2. තියනව මචන්, ඒක මං උඹට පුද්ගලිකව කියන්නම් කො... ;)

    ReplyDelete
  3. තිලින අයිය.. මිකැනිකල් අවුලක් ඇවිල්ල තිබ්බොත් මේකෙන් පෙන්නවද ? බ්ලොග් 1 මල් 7i..!!

    ReplyDelete
  4. @ Anonymous,
    මෙහෙමයි මල්ලි, මේ පද්ධතිය මූලිකවම ගොඩනගල තියෙන්නෙ රථයේ ඇති විද්‍යුත් පද්ධති වල දෝශ අනාවරණය කරගන්නයි. නමුත් සුළුවශයෙන් යාන්ත්‍රික දෝශත් මෙමඟින් අනාවරනය කරග්න්න පුළුවන්. ඒවා ඍජුවම මේ පද්ධතිය හා සම්භන්ධව ලැබෙන තොරතුරු නොවන අතර එහි නිරවද්‍ය තාව ගැන ද සහතික විය නොහැකියි. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට, ආයෙත් එන්න.

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න