Sunday, August 7, 2011

සෙනෙහස දල්වා සඳ මිණි කැන් ඇතිරූ, අපේ ගුරු දෙවිවරු...

(මේ ලිපිය ආත්ම වර්ණනාවක් යැයි ඔබට හැඟේ නම්, මෙහි හරය ඔබෙන් ගිලිහුනාහු වෙති.)
අපට මේ මහා ධරණී තලයේ දෙපයින් ඍජුව සිටගැනීමට අවශ්‍ය ශක්තිය සැපයූවේ අපේ ගුරු දෙවිවරුය. ඒ සඳහා නිවසේ 'පුබ්බාචරිය' වන දෙමව්පියන්ගේ පටන්, ප්‍රථම උපාධි පර්යේෂණ නිබන්ධනයේ අධීක්ෂක ගුරු භවතා දක්වා සෑම ගුරු දෙවිවරයෙකුගෙන් ම ලැබුන නොමසුරු දායකත්වය අමිලය අනුපමේය ය. එයිනුත් අපගේ උසස් පෙළ ගුරු දෙවිවරු අපගේ මතකයේ වෙසෙසින් සටහන් වන්නේ අපේ ජීවිතයේ කිසියම් කඩඉමක් තරණය කිරීම උදෙසා ඔවුන් අපට මග සලකුණු දක්වන හෙයිනි. 

එකී මඟ හසර අනුව යමින් අප කිසියම් කඩඉමක් තරණය කොට ජීවන දුර්ගය තරණය ඇරඹීමට පෙර අපට මඟ සළකුණු දැක්වූ එකී ගුරුදෙවි වරුන්ගේ සුවදුක් බෙදා හදාගැනීමට අප ඊයේ ඉසිඹුවක් නැවතුනෙමු...

පාසලේදී අපට භෞතික විද්‍යාව, රසායණ විද්‍යාව හා ජීව විද්‍යාව ද, ඒ සියල්ලටම වඩා අපට ජීවිතය කියාදුන් අපේ ඒ අතීත ගුරු මෑණිවරුන් පියවරුන් මුනගැසීමට එකල එකම පන්තියේ, එකම බත් පත බෙදාගත් අප මිතුරන් පස් දෙනෙක් ඊයේ ගියෙමු. 

එයින් මගේ අනෙක් මිතුරන් සිව්දෙනාම කොළඹ වෛද්‍යපීඨයේ අවසන් වසර වෛද්‍ය සිසුන් බව මා මෙහි සඳහන් කරන්නේ ඉමහත් ආඩම්බරයෙනි. තවද අප උසස් පෙල පංතියේ සිටි මිතුරන් 37දෙනාගෙන් දස දෙනෙක් පමන දැනට වෛද්‍ය සිසුන් වන අතර එයින් බහුතරය කොළඹ වෛද්‍ය පීඨයේ බවත්, කීපදෙනෙක් හැරෙන්නට ඉතුරු සි‍යළුදෙනාම ප්‍රථම උපාධිය සම්පූර්ණ කර ඇති බවත්, අනෙකුත් සෑම අයෙක්ම තම පවුලේ ව්‍යාපාරය හෝ තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් මෙහි ලා සඳහන් කරන්නේ සාඩම්බරයෙනි.

අප මුලින්ම ගියේ අපේ ජීව විද්‍යා ගුරුතුමිය වූ 'ස්වර්ණා මැඩම්' හමුවීමටය. එතුමිය දැන් විශ්‍රාමියකය. දීර්ඝ කාලයක් අප විදුහලේ සේවය කර ඇති එතුමිය මගේ අප්පච්චී උසස් පෙළ ශිෂ්‍යයෙකුව සිටි කාලයේදීත් අප පාසලේ සේවයකර ඇති බව අප්පච්චී මට පවසා ඇත. 'ස්වර්ණා මැඩම්' අපට මවක, යෙහෙලියක මෙන් ඉතා සමීපය. අපට පාසලෙන් කලින් පිටවීමට අවශ්‍ය වූ විය එතුමිය නිල වශයෙන් ම අපව පාසලෙන් පිටත් කල හැටි මට අද වාගේ මතකය. ඒ නිසාම දෝ වසර 5ට පමණ පසුවත්, මැඩම් ට අපව වෙන් වෙන් වශයෙන් මතක තිබින. අප එකිනෙකාගේ තොරතුරු විමසූ එතුමිය ඉතාමත් සතුටට පත් විය. ඇත්තෙන්ම ගුරුවරුනට ඇති අමිල වූ සතුට සිය ගෝලයින්ගේ අභිවෘද්ධිය නොවන්නේ දැ...
පාද පද්ම නමස්කාරයෙන් අප එතුමියගෙන් සමුගත්තේ රසබර මතකයන් රැසකුත්, නැවත මුනගැසෙන බලාපොරොත්තුවත් සිතෙහි දරාගෙනය.

අප මීලඟට ගියේ අපේ 12/13B2 පංතිභාර ගුරුතුමිය වූ 'මානෙල් මැඩම්' මුනගැසෙන්නටය.එතුමිය අපේ රසායන විද්‍යා ගුරුතුමියයි. සුපුරුදු සිනහවෙන්, ලෙන්ගතුකමින් අපව පිළිගත් එතුමිය, කොන්ඩය කොටට කපා සිටි අපේ එක් මිතුරෙක් දැක විශ්ම්ය මුසු හාස්‍යයෙන් කම්මුලෙහි අත තබාගන්නට විය. ඉතා දිගු වේලාවක් යටගියාව සිහි කල අප එකිනෙකාගේ තොරතුරුද එතුමිය විමසීය. ඒ දවස් වල පිපෙට්ටුවෙන් විවිධ රසායණික ද්‍රව්‍ය කලිසම් තුලට වත් කල සැටිත්, අපේ මිතුරෙක් පිපෙට්ටුවකින් භෂ්මයක් පානය කල සැටිත්, විවිධ රසායන විද්‍යා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකල හැටිත්, පන්තියේ ගුරුවරයෙක් නැතිවිට කලිසම් කකුල් මේස් දෙක අස්සේ ඔබාගෙන කොසු මිටි වලින් වෙඩි තබාගත් හැටිත් ඉතාමත් රසවත්ව සිනහ මුසු මුහුනෙන් සිහිපත් කලෙමු. මෙහිදී මගේ සිත විශ්මයට පත් කල කරුණක් වූයේ, වසර 5කට පමණ පසුවත් මැඩම් ට, අප පන්තියේ වාඩිවී සිටි පිළිවෙල පවා මතකයේ තිබීමයි. පන්තියේ මා අසුන්ගෙන සිටි තැන නිවැරදිවම එතුමිය සඳහන් කල විට මා විශ්මයට පත් උනෙමි.


තවමත් සේවයේ නියුතු එතුමිය, 2003 වසරේ අප විදුහලට පැමිණ මුලින්ම පංති භාරකාරත්වය දැරුවේ අප පංතියයි. එම පන්තිය ඉතාම සාර්ථක පංතියක් බව මා නැවතත් මතක් කල යුතු නැත. එමෙන්ම බාලිකා පාසල් වල සේවය කර අප විද්‍යාලයට පැමිණි පසු තරමක නුපුරුදු ගතියක් දැනුන බවත්, අපද කොළු ගැටයින් ලෙස කටයුතු කල අයුරුත් එතුමිය සිහිපත් කරන්නට විය. මෑතකදී අලුතෙන් පත්වීම් ලැබී ආ තරුණ ගුරුතුමියක් මුහුණ පෑ සිද්ධියක් ද අපට විතර කරන ලදී.

සෑම හමුවීමක් ම වෙන්වීමකින් කෙලවර බව තවුරු කරමින් අප මානෙල් මැඩම් ගෙන් සමුගත්තේ එතුමියගේ පාද පද්ම නමස්කාර කරමිනි. වචනයෙන් නොකීවත් අප සෑම කෙනෙකුගේම සිතේ රැඳුනේ 'ආයෙත් ඒ පාසල් කාලයට යන්නත ඇත්නම්' යන සිතුවිල්ල බව අප එකිනෙකාගේ මුහුණු වලින් පිළිඹිඹු විය...

අප මීලඟට මුනගැසුනේ අපගේ භෞතික විද්‍යා අචාර්ය තුමා වූ 'විමලරත්න සර්' ය. දුටු සැණින් ම පාද පද්ම නමස්කාර කර අප එතුමා වටකරැගෙන සිටගත්තේ නිරායාසයෙන්මය. අහෝ! එවකට කලුවන් ව තිබූ එතුමාගේ හිස සුදු පැහැයට හැරී ඇත. මෙනුමෙන් බොහෝ දුරට ගුණදාස කපුගේ ශූරීන් මෙන් වූ විමලරත්න සර්, ඉතාම නිවුන පුද්ගලයෙකි. හදවතින් ම නැගුන සිනහවෙන් අප පිළිගත් එතුමා දැන් විශ්‍රාම සුවයෙන් පසුවන බව පැවසීය. "හරීම නිදහස් පුතේ දැන් නම්, ඉතාම සැහැල්ලුවෙන් වගකීම් වලින් මිදිල නිදහසේ ඉන්නව" එතුමාගේ සුපුරුදු වාග් විලාශය මා වහාම වසර 5ක් අතීතයට රැගෙන යන ලදී.

වසර 35 ක ගුරු ජීවිතයට ආයුබෝවන් කියා ඉතාමත් සැහැල්ලුවෙන් ජීවිතයේ සැඳෑ සමය එතුමා ගත කරයි. එතුමා සඳහන් කල පරිදි පසුගිය වසර 60ට එතුමා අප විද්‍යාලයේ රැඳී නැත්තේ වසර 4ක කාලයක් පමණි, ඒ එතුමා පේරාදෙණිය සරසවියේ ගතකල වසර 4පමණි. අප විදුහලෙන් අධ්‍යාපනය ලද එතුමා පේරාදෙණිය සරසවියට ඇතුලත්ව, නැවතත් ගුරුවරයෙකු ලෙස අප විද්‍යාලයටම පැමිණ තිබේ. එවක පටන් විශ්‍රාම ගන්නා තුරුම අප විද්‍යාලයේ භෞතික විද්‍යා අචාර්ය වරයෙකු ලෙස එතුමා සේවය කර ඇත. ඒ තොරතුරු වලින් මම විශ්මයටත් සතුටටත් පත් උනෙමි.

මෙතුමා අපට භෞතික විද්‍යා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සියල්ලම එලෙසින්ම සිදුකල අතර විශය නිර්දේශයත් කිසිදු අඩුපාඩුවක් නොමැතිව සර්ව සම්පූර්ණව උසස් පෙළ විභාගයට වසරකට පමණ කලින් ආවරණය කරන ලදී. එතුමා ම සඳහන් කරන පරිදි එතුමා විශ්ව විද්‍යාලයේ සිටින කාලය තුල සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොණික විද්‍යාව තිබී නැත. නමුත් එසේ තිබියදීත් අපට උසස් පෙලට අවශ්‍ය එම කොටස් එතුමා ම අධ්‍යයනය කර  අපට ඉතාම මැනවින් පහදා දෙන ලදී. ඇත්තෙන් ම මට භෞතික විද්‍යාව පිළිබඳ උනන්දුවක් ඇතිවූයේ එතුමා නිසාය. එතුමාගේ සටහනේ ඇති පැහැදිළි බව නිසා මා භෞතික විද්‍යාව සඳහා පිටු 400 ක වෙනමම සුදු පිට කවරයක් දැමූ පොතක් භාවිතා කලෙමි. එහි '05.05.05' දිනය සටහන් කල බවද මට අද මෙන් මතකය. ඒ පොත අද ද මා සතුව සුරක්ෂිතව ඇත.

දිනක් අප භෞතික විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකමකදී ගෝල මානය භාවිතා කර ගෝලයක වක්‍රතා අරය සෙවීමට කටයුතු කලෙමු. එහිදී අප වෙත ලැබුන ගෝල මානය තරමක් බරැති තනිකර පිත්තලෙන් නිමවූ එකකි. එහි 'MADE IN GREAT BRITAIN' කියා ද සඳහන් ව තිබුනි. පෙනුමෙන් ම එය තරමක් පැරණි බව පෙනෙන්නට විය. අප එහි වයස පිළිබඳ අනුමාන කරමින් සිටියදී එතැනට පැමිනි විමලරත්න සර් පැවසූයේ "හේරත්, මමත් උසස් පෙල කරන කාලෙ පාවිච්චි කලේ ඔය ගෝල මානය මයි" කියාය, ඒ ඇසූ අප විශ්මයට පත්වූයෙමු. තවත් ඉතාමත් රසවත් කතා විමලරත්න සර් සමඟ ඇති අතර ලිපිය දීර්ග වන නිසා ඒවා මෙහි සඳහන් නොකරමි.

විශ්‍රාම ගැනීමෙන් පසුව එතුමා කිසියම් ශල්‍ය කර්මයකට භාජනය වූ බවත්, එහිදී සම්භන්ධ වූ බොහෝමයක් වෛද්‍ය වරු එතුමාගේ ගෝලයන් වූ බවත් එබැවින් ඉතාම පහසුවෙන් ඒ කටයුතු කරගත් බවත් එතුමා අප සමඟ සඳහන් කලේ ඉතාමත් සතුටෙනි. ජීවිතයේ කොතෙකුත් භාධක පැමිනියත් තම රාජකාරිය අකුරටම් ඉටු කල බවත්, අවම වශයෙන් නිවාඩු ලබාගත් බවත් (මට ද මතක පරිදි සර් අප සිටි වසර 2 1/2 පමන කාලයටම ලබාගත්තේ එකම එක නිවාඩුවක් පමණි ) එතුමා මතක් කර සිටියේ පුරාජේරුවක් වශයෙන් නොව අපට ආදර්ශයක් වශයෙනි.

විශ්‍රාම සුවයෙන් දහමට නැඹුරු සරල දිවි පෙවෙතක් ගත කරන එතුමා අප සැමගේ පැමිණීමෙන් ඉතාමත් සතුටට පත් විය. රෑ බෝ වූ හෙයින් අප එතුමාගේ පාද පද්ම නමස්කාර කොට එතුමාට සමු දී පැරණි මතකයන් සිත්හි දරාගෙන ආපසු නිවෙස් බලා එන්නට පිටත් උනෙමු...

ඉඳින් අපගේ ගුරු දෙවි වරුන් වූ ඔබට මේ ලිපිය උපහාරයක් ම වේවා! ඔබට චිරං ජයතු!

12 comments:

  1. අපි හැමවෙලේම මතක තියාගන්න ඕනේ කාරණයක් තමා ගුරුවරු නිසා තමයි අපි අද මේ තත්ත්වෙන් ඉන්නෙ කියනඑක.

    මගෙ දෙමව්පියනුත් ගුරුවරු, ඒනිසා මටත් මේ ලිපිය ගොඩක් දැනුනා.අපේ අම්ම අවුරුදු 34ක් ගුරුසේවයේ ඉදලා ලගදි විශ්‍රාම ගත්තා.

    ReplyDelete
  2. Niyamay mchn..Much appreciated

    ReplyDelete
  3. @ නදී,
    ඇත්තෙන්ම, හැබැයි සමහරුන්ට ඔය වග අමතකත් වෙනව...
    ඔයාගෙ අම්මට නිදුක් නීරෝගී වාසනාවන්ත විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනව!

    ReplyDelete
  4. @ Osada,
    ස්තූතියි, ඒ වගේම ඉතාම සාදරයෙන් පිළිගන්නව මගෙ බ්ලොග් අඩවියට. අවස්ථාවක් ලැබුනම ආයෙත් එන්න. මම නිතර ඔය පැත්තෙ එනව, උඹල ඉතින් වැඩිය පේන්න ඉන්නෙ නෑනෙ... ;)

    ReplyDelete
  5. ඇත්ටමයි ටීබී ඔවුන් කොතරම් සොදුරු මීනිසුන්ද, ජීවිතයෙ සොදුරුම අවදියක හමුවූ හර්දයාන්ගම අයවලුන්ය. මතකද විමලරත්න සර්ගෙ කතා, නිමක් නැහැ නේද?
    @ඕශද? ගොඩ කාලෙකින්

    ReplyDelete
  6. කොහෙන්ද මේ ෆොටෝ එක, හා... හා.. කට්ටියම ඉන්නෙ?

    ReplyDelete
  7. @ sajith,
    ඇත්තෙන්ම මචන්...අර "මෙතන ලක්ෂ්‍යක් නෑ, නමුත් මෙතන ලක්ෂ්‍යක් තිබෙනවා යැයි අපි සලකනවා" කතාව නම් මට මැරුනත් අමත වෙන්නෙ නෑ...
    ඇත්තෙන්ම ඔවුන් කෙතරම් සොඳුරු මිනිසුන් ද, ඔවුන්ගේ සෙවන ලැබීමට අප ඉඳුරාම පෙර පින් කර ඇත්තෙමු...
    මචන් HMST, මගෙ ගාව අපි ඉස්කෝලෙ අන්තිම කාලෙ ගත්ත ෆොටෝ වගයක් තියනව...

    ReplyDelete
  8. ඹන්න මාත් කියව්ව.
    එළ මචං ...
    ජය වේවා !!!
    (ප්‍රදීප් කුමාර)

    ReplyDelete
  9. @ ප්‍රදීප්,
    මචං ප්‍රදීප් හරිම සතුටුයි මේ පැත්තෙ ආවට, සාදරයෙන් පිළිගන්නව. ඉඩ හසර ඇති වෙලාවක ආයෙත් එන්න...

    ReplyDelete
  10. මලිදෙව් මාතාවගේ පුත්‍රයෙක් මෙසේ අතීතාවර්ජනයක යෙදීම හරිම වටිනවා අයියේ. අපිත් දැන් ඉස්කෝලෙන් එළියේ. හරි ම දුකයි. කෝණාර සර්ත් විශ්‍රාම ගත්තලු ලගදි...

    ReplyDelete
  11. @ Tharanga,
    සාදරයෙන් පිළිගන්නව මගේ බ්ලොග් අඩවියට :)
    බොහොම සතුටුයි තවත් මලිදෙව් පුත්‍රයෙක් හඳුනාගන්න ලැබීම. ඔයාගෙ බ්ලොග් එකත් ලඟදීම අපට කියවන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව මල්ලි.

    ReplyDelete
  12. thanks a lot ayya. AL stuff nisa tikak amarui..eth mama hobby 1ta electronics karanawa.. oyalath mata udaw karai neda..
    kemathi nam meka balanna..

    http://www.facebook.com/media/set/?set=a.2362567189861.2139802.1420780110

    http://www.facebook.com/media/albums/?id=1420780110

    http://www.facebook.com/video/?id=1420780110

    kisima wanija paramarthayak ne!

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න