Sunday, June 26, 2011

රියදුරු දෑතට දෙවිපිහිටයි


රථයක් පාලනය කිරීම සඳහා ඇති මූලිකම පද්ධතියක් තමයි රථයේ සුක්කානම් පද්ධතිය. රථය රියදුරාට අවශ්‍ය දිශාවට යොමු කිරීම සුක්කානම් පද්ධතියේ මූලික කාර්ය වේ. මෙම සුක්කානම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය හා ඒ හා බැඳුන න්‍යායන් මොනවාදැයි දැනුවත් ව සිටීම රථවාහනයක් පදවන සෑම දෙනෙකුටම වැදගත් වන අතර එමඟින් තම රථය නිසි ආකාරව පරිහරනය කිරීමටත් අනතුරු වලක්වා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. 

වාහනය වංගුවක ගමන් කිරීම, එක් ලක්ෂ්‍යක් වටා සිදුවන භ්‍රමණය වීමක් ලෙස සැලකිය හැකී (පරිපූර්ණ තත්ව යටතේ). වංගුවේ තීව්‍ර තාවය අඩු වත් ම රථය ගමන් ගන්නා පථයේ විශ්කම්භය වැඩි වන අතර තීව්‍ර තාවය වැඩිවත්ම විශ්කම්භය අඩුවේ.

පහත රූප සටහනේ දක්වා ඇත්තේ කිසියම් වාහනයක් වංගුවක ගමන් කරන අවස්ථාවයි. වංගුව ගැනීමේදී ඇතිවන වෘත්තයේ කේන්ද්‍රය Dලෙස දක්වා ඇත. වාහනය නිවැරදිව D කේන්ද්‍රය කරගත් වෘත්තයේ පථයේ ගමන් කරයි නම් (එනම් රථය නියමාකරව වංගුව ගනී නම්) රථයේ රෝද හතරටම ඇඳි ලම්භක ඉහතින් සඳහන් කල D ලක්ෂ්‍යයේදී එකිනෙක ඡේදනය කලයුතුවේ. එය වෙනස් උවහොත් එසේ වෙනස් ලම්භකයක් සහිත රෝදය ගමන් කරන පථය වෙනස් වී එම ටයරය මාර්ගයේ ඇතිල්ලීයාමකට ලක්වෙයි. මෙහිදී පසුපස රෝද දෙකම එකම ඇක්සලයක ඇති බැවින් එම රොද දෙකේම ලම්භක රේඛා දෙක එකම රේඛාවක් ලෙසින් (C) D වෙත සම්භන්ධ වේ. 

ඔබ ඉදිරිපස (හැරී ඇති රෝද ) රෝද මදකට අමතක කරන්න. එවිට ඉතිරි වන එකම ඇක්සලයක ඇති පසුපස රෝද දෙකත් D කේන්ද්‍රය කරගෙන D වටා C නියත දුරකින් රෝද මාර්ගයේ ඇතිල්ලීමකින් තොරව භ්‍රමණය වි හැකි බව රූපසටහනෙන් අවබෝධ කරගත හැක. එහිදී කේන්ද්‍රයට (D) ආසන්න රෝදයට වඩා වැඩි වට ගණනක් කේන්ද්‍රයට ඈත රෝදය භ්‍රමණ්ය විය යුතු බවද වැටහේ. මන්ද යත් කේන්ද්‍රයට ආසන්න රෝදයේ පථයේ පරිධියට වඩා කේන්ද්‍රයට ඈත රෝදයේ පථයේ පරිධිය වැඩි වන බැවින්. මෙම අවශ්‍ය තාව සපුරාලීම සඳහා විශේෂ යන්ත්‍රණයක් මෙම ඇක්සලයේ යොදා ඇත. එබැවින් මෙම ඇක්සලය ඩිෆර්න්ශල් (differential) ලෙස හඳුන්වයි. ඒ පිළිබඳව තොරතුරු ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.

තවත් ඉතා වැදගත් කරුනක් නම් ඉදිරි පස රෝද හැරවෙන කෝණ එකිනෙකට වෙනස් බවයි (ඉහත රූපය බලන්න ). එනම් කේන්ද්‍රයට ආසන්නම රෝදය වැඩි කෝණයකිනුත් කේන්ද්‍රයට දුරින් පිහිටි රෝදය අඩු කෝණයකිනුත් හැරවේ. මෙම අගයන් වංගුවේ අරය හා රථයේ රෝද කුට්ටම් අතර දුර (wheelbase, එනම් ඉදිරිපස රෝදයක මධ්‍යයේ සිට පසුපස රෝදයක මධ්‍යයට ඇති දුර )  අනුව වෙනස් වන බවද මතක තබාගන්න. 

කෙසේ හෝ වාහනයක සුක්කානම් පද්ධතිය ක්‍රියා කල යුත්තේ ඉහත සඳහන් කල අවශ්‍යතා සම්පූර්ණ කරන පරිද්දෙනි. ඉතා විශිෂ්ඨ ඉංජිනේරුමය නිර්මාණයක් වන  මෙම යන්ත්‍රණය කෙසේ නිර්මාණ්ය කර ඇත්දැයි විමසා බැලීම වටී. 

රථය වමට හැරවීමේදී වම්පස රෝදය වැඩියෙන්ද, දකුණුපස රෝදය ඊට වඩා මදක් අඩුවෙන් ද හැරවිය යුතුයි. රථය කෙලින් ගමන් කරන විට රෝද සමාන්තර විය යුතු අතර රථය දකුණට හැරවීමේදී දකුණුපස රෝදය වම්පස රෝදයට වඩා මදක් වැඩියෙන්  හැරවිය යුතුයි. පිළිවෙලින් A, B, හා C රූපසටහන් බලන්න. 


එසේ නොවුන හොත් වංගු ගැනීමකදී ඉදිරිපස රෝද පාරේ ඇතිල්ලීමට ලක්වනු ඇත. එසේ උවහොත් වංගු වලදී වාහන පාලනයකින් තොරව පසෙකට ඇදීයාම, ටයර් අසාමාන්‍ය ලෙස ගෙවී යාම වැනි දෝශ සිදුවිය හැකී. ඉහතින් සඳහන් කල සංකීර්ණ අවශ්‍යතාවය සපුරාගෙන ඇත්තේ අප කවුරුත් හොඳින් දන්නා  ලීවර පද්ධති වලින් හා ජ්‍යාමිතිය උපයෝගීකරගෙනය. ත්‍රපීසියමක හැඩයට සකස්කල සුක්කානම් අත් (Knuckle Arm) මගින් එම ක්‍රියාකාරීත්වය ලබාගෙන ඇත. ත්‍රපීසියමේ සමාන්තර නොවන රේඛාදෙක (එනම් සුක්කානම් අත්) පසුපස ඇක්සලය මත ඇති P නම් මන්ඃකල්පිත ලක්ෂයක් මතදී එකිනෙක ඡේදනය වන ලෙස යන්ත්‍රණය සකස්කිරීමෙන් වංගුවකදී ඉදිරිපස රෝද වලට අවශ්‍ය කෝණ ලබාගත හැක.(පහත රූපසටහන් බලන්න ).

මෙය සිදුවන ආකාරය සරලව වටහාගැනීමට පහත රූපසටහන් බලන්න,



ඉහත 1 රූපයේ ඔන්චිල්ලාවේ AC හා BD ධාරක දෙක මීට පෙර රූපයේ AC හා BD සුක්කානම් අත් වලට අනුරූප වේ. දැන් මේ පද්ධතිය පවතින්නේ ත්‍රැපීසියම්ක් ආකාරයටය. අංක 2 රූපයේ පරිදි එක් ලමයෙක් ඔන්චිල්ලාව පැද්දුව විට (එනම් වාහනය එක් අතකට හැරවූ විට ) පද්ධතිය ත්‍රැපීසියමක හැඩයට තිබෙන නිසා එහි ඇති ධාරක දඬු (එනම් සුක්කානම් අත්) චලනය වන්නේ එකිනෙකට වෙනස් කෝණ වලිනි. තුන්වන රූපයෙන් මෙය වාහනයේ ඉදිරිපස ඇක්සලයට අනුරූප කර ඇත. එමගින් ඉදිරිපස රෝද හැරවීමේ දී අවශ්‍ය කෝණ ලැබෙන ආකාරය පැහැදිළි වනු ඇත. 

මෙම මූලික යන්ත්‍රණය විවිධ වාහන මාදිලි වල යම් යම් වෙනස් කම් සහිතව පිහිටුවා ඇති අතර ඒ සෑම සැකැස්මකම මූලික යන්ත්‍රණය වන්නේ මෙයයි.ඉතින් ඔබ මීලඟට රියදුරු අසුනේ වාඩිවන විට ඔබගේ ඉෂ්ඨ දේවතාවන් මෙන්ම මෙම තාක්ෂණය පිළිබඳවද මෙනෙහිකර සුපරීක්ෂාකාරීව රියපදවන්න.


11 comments:

  1. නියම ලිපියක් නොදන්න කරුණු ගොඩක් මේ ලිපියෙන් දැන ගත්තා.පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සෙල්ෆ් ස්ටියරින් ක්‍රමය කියන්නේ මොකද්ද ? අනිත් ක්‍රමයට තියෙන වාහන වල වංගුවක් ගන්න මාරම අමාරුයි.

    මම දන්නේ ඔය සුක්කානමක තියෙන ගියර් සිස්ටම් එක විතරයි. වාහනයක් එලවලා නෑ. සුක්කානම් ගැන ගියර් බොක්ස් එකක් ගැන නම් ඉගෙන ගෙන තියෙනවා.

    ReplyDelete
  2. මධුරංග කිව්වා වගේ නියම ලිපියක්.
    මමත් ඇතුලුව වාහන පදවන කියෙන් කි දෙනාද මේ යාන්ත්‍රනය ගැන දන්නේ.

    තාක්ෂණික පැත්ත.. ගරාජ් බාස්ට විතරක් නොදී.. මේ ගැන අපිත් දැන ගන්න ඕන නේද කියලා හිතුනා ..මේක කියෙව්වම.

    ReplyDelete
  3. @ මධුරංග,
    සෙල්ෆ් ස්ටියරින් කියන්නෙ නැව් වල තියන ධාවන ක්‍රමයක්, එහිදී වෙන්නෙ අපි දෙන පිහිටීමකට නැව ස්වයංක්‍රීයවම ගමන් කරන එකයි. වංගු ගැනීමේ පහසුව ගැන කියනව නම් පවර් ස්ටියරින් සහිත වාහන වල වංගු ගැනීම පහසුයි මොකද වාහනයෙන් ස්ටියරින් පද්ධතියට අමතර බලයක් (Power Assist) සපයන නිසා.

    ඔව් වාහන වල ස්ටියරින් පද්ධතිවල, Re-circulating Ball සහ Rack and Pinion කියල ප්‍රධාන ගියර් වර්ග දෙකක් පාවිච්චි වෙනව. ඊට අමතරව Bevel Gear ක්‍රමයත් භාවිතා වෙනව.

    ReplyDelete
  4. @ - නිල් අහස -,
    ඇත්තෙන්ම වාහන වල තාක්ෂණික පැත්ත අපි දැනගෙන ඉන්න එක ඉතාම වටිනව මග තොට අතරමං නොවීමටත්, අළුත්වැඩියාවකදී මුදල් සහ කාලය ඉතුරු කරගැනීමටත්.

    ReplyDelete
  5. මාත් ආසවෙන් හිටියේ මේ වගේ ලිපියක් කියවන්න.
    මට වාහන ගැන දැනුම අඩුයි.
    ස්තුති ඔබට.

    ReplyDelete
  6. @ Gimhani,
    බොහොම ස්තූතියි මගෙ බ්ලොග් අඩවියට ගොඩවැදුනට, සාදරයෙන් පිළිගන්නව :)
    මේ සම්භන්ධයෙන් ආසවක් තියනව කියපු එක නම් අහන්නත් සතුටුයි, මොකද බොහෝ විට රියදුරු වරියන් වාහන පැදවුවට වාහන වල තාක්ෂණය ගැන දැනුවත් වෙන්න කැමති නෑ නෙ.

    ReplyDelete
  7. ස්තුතියි මාව සාදරෙන් පිලිගත්තාට.
    තවත් මෙවැනි ලිපි ලියන්න. වාහනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධව දැන ගන්න ආසයි..
    ජය!!

    ReplyDelete
  8. අපූරු ලිපියක්නේ

    ReplyDelete
  9. @ ayesha,
    ස්තූතියි මෙහෙ ආවට :)

    ReplyDelete
  10. උඹේ රථගාය තාම ගිහිල්ලා නෑ නේද බං...මට ඉස්සර මතක් වෙනවා...

    ReplyDelete
  11. @ තීර්ථ යාත්‍රිකයා,
    :D ඒක නම් ඇත්ත මචන්...

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න