Sunday, July 10, 2011

2600 ශ්‍රී සද්ධර්ම ජයන්තිය


අප මහා සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ අදින් වසර දෙසහස් හයසියයකට පෙර වෙසක් පුන් පොහෝ දින සියළු ලෝක සත්වයා කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් යුතුව ගයාහිස නේරංජනා නදී තෙරදී ශ්‍රී සම්බුද්ධත්වය සාකෂාත් කළ සේක. ඒ සමඟම දෙවියන් බඹුන් සහිත මේ තුන්ලොවෙහිම ඉතාම දුර්ලභව පහලවන්නා වූ රත්නයක් වන ශ්‍රී සම්බුද්ධ රත්නය පහල විය. බුදුන්වහන්සේ සම්බුද්ධත්වයෙන් පසු දින හතලිස් නවයක් මුළුල්ලේ සමාපත්ති සුවයෙන් වැඩසිට කළගුණ සැලකීම දෙවියන්ගේ සැක දුරුකිරීම හා තමන්වහන්සේ ගුරු උපදේශය නැතිවම තමන්වහන්සේ විසින්ම අවබෝධකරගත් ශ්‍රී සද්ධර්මය මෙනෙහි කිරීමෙහි යෙදිය සිටි සේක. 

බුදුන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් පනස්වන දිනයේදී තපස්සු භල්ලුක වෙළඳුන් දෙපළ වෙත ශ්‍රි සද්ධර්මය දේශනා කිරීමත් සමඟම ඔවුන් බුද්ධ රත්නයේත් ධර්මරත්නයේත් දෙරුවන් සරණ ගිය ගෞතම බුදු සසුනේ පළමු ශෘතවත් ආර්ය ශ්‍රාවකයන් බවට පත්විය. ඉන් පසුව එලැඹුන ඇසල පුන් පොහෝ දිනදී ප්‍රථම ධර්මදේශනාව ඉසිපතනයේ මිගදායේදී පස්වග තවුසන් උදෙසා දේශණා කරනලදී. 

ඒ ධර්මදේශණාවත් සමඟම මේ තුන්ලොවෙහිම ඉතාම දුර්ලභව පහලවන්නා වූ රත්නයක් වන ශ්‍රී සද්ධර්ම රත්නය පහල විය. ඒ සදහම්දහම් ශ්‍රවණය කරනුවස් බොහෝ දෙවියන් බ්‍රහ්මයන් ද රැස්වින. එහිදී බුදුරජානන් වහන්සේ දේශණා කළ  ධම්මචක්ක පවත්තන සූත්‍රය අසා කොන්ඩඤ්ඤ තවුසානන් සෝවාන් ඵලය අවබෝධකරගත් සේක. එහිදී උන්වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාවට පත්විය. ඒ සමඟම මේ තුන්ලොවෙහිම ඉතාම දුර්ලභව පහලවන්නා වූ රත්නයක් වන සංඝ රත්නය ලොව පහල විය. 

ඒ අයුරින් ධර්මරත්නයත්, සංඝරත්නයත් ලොවැ පහල වී එලැඹෙන ඇසල පොහොය දිනට වසර දෙදහස් හයසියයක් සම්පූර්ණ වෙයි. එවන් පින්බර සමයෙක අපත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධකරගෙන සසර දුකෙන් අතමිදීමට වීර්යෙන් යුතුව කටයුතු කරමු. ඔබ සැමට මේ ජීවිතය තුලදීම උතුම් වූ සදහම් ඇස පහල වී සසර දුකෙන් අතමිදීමටම හේතුවාසනා වේවා!
තෙරුවන් සරණයි!

3 comments:

  1. Sadooo! Sadoo! Sadoo!

    ReplyDelete
  2. උතුම් වූ ප්‍රාර්ථනාවක්..මිත්‍රයා.

    ReplyDelete
  3. තෙරුවන් සරණයි!

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න