Monday, May 30, 2011

බියකරු සසර මග අසරණ නොවනට තිසරණ සරණ යමු සැමවිට


දිනක් ඡත්ත නම් වූ තරුණයෙක් ගුරු පුදට පඬුරුත් රැගෙන සිය ගුරුතුමන් ව බැහැදකින්නට යමින් සිටියා. අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බලන කල්හී, මේ ඡත්ත තරුණයාට අතරමඟ දී විපතක් සිදුවන බවත්, ඔහු තිසරණයේ පිහිටියහොත් දෙව් ලොව පිවිසීමට හැකිවන බවත් දුටු සේක. එසේ හෙයින් ඡත්ත ගමන් කරන අතරමඟ ඔහු කෙරෙහි මහත් වූ කරුණාවෙන් අප මහා සම්බුදු රජාණන් වහන්සේ ගසක් පාමුල වැඩසිටිය සේක.

බුදු සමිඳු දුටු ඡත්ත, බුදු රදුන් වෙත වන්දනා මාන කරන ලදී. ඒ අවස්ථාවේ බුදුහිමියන් ඡත්ත ගෙන් ආගිය තොරතුරු විමසා මෙසේ විමසන ලද සේක,
"ඡත්ත මානවකය, ඔබ තිසරණය හා පන්සිල් ගැන දන්නවාද?"
ඡත්ත මානවකයා, "ස්වාමීනී, මම ඒ ගැන නොදනිමි, මා ඒ ඉගෙනීමෙන් මට කිනම් ඵලයක් වේද?" යැයි විමසන ලදී.
ඒ මොහොතේ දී අප මහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරන ලදී
"ඡත්ත, මා විසින් මේ ධර්මය මුල, මැද අග ඉතාම පිරිසිදු ලෙසින් මැනවින් දේශනා කර ඇත. ඔබ තිසරණ සහිත පංච ශීලය සමාදන් වන්න. එය ඔබගේ ජීවිතයට මහත් ඵල මහානිසංස වනු ඇත. ඔබ සමාදන් වන මේ ගාථා රත්නයන් තුන මතක තබාගෙන එය සිහිකරමින් ගුරු පුදට යන්න"

ඒ ගාථා රත්නයන් තුන මෙසේය,

යෝ වදතං පවරෝ මනුජේසු – සක්‍යමුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි – තං සුගතං සරණත්ථ මුපෙහී
(කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන් චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.)
රාග විරාග මනෙජ මසොකං – ධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්මමිමං සරණත්ථ මුපෙහි
(ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරුවෙනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති , පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.)
යත්ථ ච දින්නමහප්ඵල මාහු – චතුසුසු චීසු පුරිසයුගෙසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේ – සංඝමිමං සරණත්ථ මුපෙහි
(යම් ආර්ය සඟ පිරිසකට දානය පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් එසේ වූ උන්වහන්සේලා පාරිශුද්ධ පුද්ගල යුගල වශයෙන් සතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝරත්නය ද සරණ යන්න.)
ඡත්ත තරුණයා මේ ගථාවන් තේරු ගෙන, බුදු රදුන්ට වැඳ නමස්කාර කොට නැවතත් සිය ගමනට පිටත් උනා. ගමන අතර මඟදී සොරුන් විසින් ඡත්තව මරා ඔහු අත වූ මුදල් පැහැරගන්නා ලදී. තිසරණ සරණ සිහිකරමින් සිටි ඡත්ත මිය යනවාත් සමඟ නින්දෙන් අවදිවන්නාක් මෙන් තව්තිසා දෙව් ලොව විසි යොදුන් ආලෝක ධාරා මතුකරමින් පහල විය. 
මිය ගිය ඡත්ත තරුණයාගේ ආදහන කටයුතු වලට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ද වැඩම කරන ලදී. මේ මොහොතේ දී දෙව් ලොව සිට ඡත්ත දේවේන්ද්‍රයා ද සපිරිවරින් දේව විමානත් සමඟම භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වන්දනා මාන කරගැනීම ට මහත් වූ ගෞරවයෙන් එතැනට පැමිනියහ. රැස්ව සිටි මිනිසුන් මේ දෙවියෙක් ද බ්‍රහ්මයෙක් දැයි විමතියට පත්විය. ඡත්ත දේවේන්ද්‍රයා කල පින් කම් අවට රැස්ව සිටි මිනිසුන් ට දැනගැනීම පිණිස භාග්‍යවත් බුදුරජානන් වහන්සේ මෙසේ විමසන ලද සේක.
"මේ දිව්‍ය විමානය අහසෙහි ඉතාම ප්‍රභාෂ්වරව බබලනව, මෙවන් අසිරිමත් ලෙස දෙව් ලොවින් මොලොවට පැමිණි ඔබ කවුරුන්ද?"
ඒ විමානයෙන් විහිදෙන ආලෝකය හිරු රැස් පවා පරදවනවා. යොදුන් විස්සක විතර දුරට රැස් විහිදෙනවා. දහවල් කාලයේ වගේම රෑටත් රැස් විහිදෙනවා. ඒ විමානය පිරිසුදු යි. නිර්මල යි. සුන්දර යි.
විචිත්‍ර වූ සුදු නෙළුම්, රතු නෙළුම්, ඒ වගේ බොහෝ නෙළුම් තිබෙනවා. නොයෙක් වර්ගයේ මල් පිරිලා තිබෙනවා. නොයෙක් විසිතුරු කැටයම් තිබෙනවා. ඉතාම පිරිසුදු රත්තරනින් හැදුණු දැල් විමානේ වටේට තිබෙනවා. හිරු මඩලක් වගෙයි අහසේ බබළන්නේ.
රතුපාට, කහපාට, දිව්‍ය සළුවලින් සරසලා තිබෙන්නේ. සඳුන් සුවඳින් යුක් තයි. රන්වන් පාටින් බබළන දිව්‍ය අප්සරාවන් පිරුණු මේ විමානය පෙනෙන්නේ තාරුකාවන් පිරිවරා ගත් ගගන තලය වගේ. මෙහි ඉන්න දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් මල්වලින් සැරසිලා. දිව්‍යාභරණයන් සැරසිලා. සතුටු සිතින් ඉන්නේ. ඒ දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් බොහෝ දෙනකු ගේ කේශ කලාපයන් ලස්සනට සරසලයි තිබෙන්නේ. මඳ සුළඟට සෙලවෙන රන්වන් මල්වලින් සුවඳ විහිදෙනවා. “
“ දේවේන්ද්‍රය, මේ පුණ්‍ය විපාකය ලැබුණේ මොන වගේ සංවරකමක්, දමනය වීමක් නි සාද? මෙහි ඔබ උපන්නේ මොන වගේ පුණ්‍ය විපාකයකින් ද? “ භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරනු ලැබුවා.
“ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එක්තරා මානවකයෙක් මහමඟ යමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ, ඔහු මුණගැහිලා අනුශාසනා කළා. ඒ මහාර්ඝ රත්නය වන නුඹ වහන්සේ ගේ ධර්මය අසා පිළිපදිනවා කියලා ඒ ඡත්ත මානවක කිව්වා. ස්වාමීනි, පරමෝත්තම වූ ජිනේන්ද්‍රයන් වහන්සේ සරණ යන්න, ධර්මය, භික්ෂු සංඝයා සරණ යන්න කියල වදාළ වෙලාවේ මම පළමුව කිව්වේ ඒ ගැන නොදන්නා බවයි. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහලා තෙරුවන් සරණ ගියේ.
ඒ අපිරිසුදු වූ නානා ප්‍රකාර වූ ප්‍රාණඝාතය කරන්න එපා. ප්‍රාණින් කෙරෙහි සංයමය නැති අය ගැන නුඹ වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිව්වේ දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහල ඒ විදියට කළේ.
අනුන් විසින් රකිනු ලබන දේවල් තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියලා වදාළ වෙලාවේ මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹවහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
අනුන් ආරක්‍ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක් කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවෙයි කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
හොඳ සිහිය නැති වෙන්නේ බීමත්කමින් නම් ඒ සැම මද්‍යසාරයක්ම දුරින්ම දුරු කරන්න කියලා වදාළ වෙලාවේදී ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලයි. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
ස්වාමීනි, මම පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්දා. දෙමංසලකට ආපු වෙලාවේදී මාව සොරුන්ට මැදි වුණා. ඔවුන් වස්තුව ගන්න හිතාගෙන මාව මැරුවා. පිනක් ලෙස මෙච්චරයි සිහි කරන්න තිබුණේ. ඒ සුචරිත ධර්මයෙහි විපාක වශයෙන් මම සැප තිබෙන තවුතිසාවේ ඉපදුණා.
ශීල සංවරය ඇතිකර ගත්තේ මොහොතයි. ධම්මානුධම්ම පටිපදාවේ විපාකය බලනු මැන. මා දකින විට හීන සම්පත් ඇති බොහෝ අය මා වගේ කෙනෙක් වෙන්නයි කැමැති වෙන්නේ.
සුළු දේශනාවක අසිරිය බලනු මැන. මම සුගතියට ගියා. සැපත් ලැබුවා. එහෙම එකේ යම් කෙනෙක් නිතර නිතර ධර්මය ඇසුවොත් ඒ අය දුක, බිය රහිත අමා නිවන ස්පර්ශ කරනු නිසැකයි. තථාගතයන් වහන්සේ ගේ ධර්මයේ පිහිටලා යමක් කළ විට මහා විපාකයන් ලැබෙනවා. විපුලඵල ලැබෙනවා. පින් කරගත් මා දෙස බලන්න. හිරු මඬල බබළනවා වගේ මා දෙව්ලොව බබළනවා. මේ කුසලය මොන වගේ දෙයක්ද? මොන වගේ යහපතෙහි ද හැසිරිය යුත්තේ කියලා ඇතැම් දෙවිවරුන් සාකච්ඡා කරනවා.
භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ උපකාර කොට වදාළා. අනුකම්පා කොට වදාළා. මහ මද්දහනේ මා සිටි තැනට වැඩමවා ලූ සත්‍ය නාම වූ බුදුරජුන් කරා මා පැමිණුනා. මට අනුකම්පා කරන සේක්වා. ආයෙත් අසන්නම්, මේ ශාසනයේ යමෙක් කාමරාග දුරුකරනවා නම්, භව රාගයන් දුරු කරනවා නම්, මෝහයත් දුරුකරනවා නම් උන්වහන්සේලා ආයේ කවදාවත් මව්කුසක පිළිසිඳ ගන්න එන්නේ නැහැ. පිරිනිවීමට පත්වෙලා එයින් නිවී සැනසුම ලබනවා “
එසේ හෙයින් බියකරු සංසාර ගමනේ අසරණව අතර මං නොවී, නිර්වානාවබෝධය කරා එලැඹීමට උතුම් වූ තිසරණය අවබෝධයෙන් ම සරණ යමු.
බුදු සරණ වේ                      වා!
සදහම් සරණ වේ                  ව!
සඟ සරණ වේ                     වා!
මෙතුන් සරණෙන් ජයම වේ  වා!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ ගේ ධර්ම දේශනාවක් ඇසුරෙනි.
තෙරුවන් සරණයි!

5 comments:

  1. ඇත්තටම .. ඉස්කෝලේ ගියායින් පස්සේ අද තමයි හිතින් හරි මේ ගාථා ටික කියෙව්වේ. නිධාන කතාවත් එක්කම දාපු එක තමයි හුගක් වටින්නේ.
    බුදු දහම සදාකාලික සත්‍යයක්....

    ReplyDelete
  2. හරිම වටිනා කරුණු රැගත් බ්ලොගයක්..ඔබට මෙය බොහෝ දුර රැගෙන යෑමට ශක්තිය දිරිය ලැබේවා...!!!

    ReplyDelete
  3. @ - නිල් අහස -,
    ඒ සත්‍ය බලයෙන් සියළු සත්වයින්ට යහපතක් ම වේවා!

    @ මකුළු පැංචි,
    බොහොම සිතූතියි මගෙ බ්ලොග් එකෙත් මකුළු දැලක් බැන්දට :D

    ReplyDelete
  4. මේ උතුම් දර්ම දානය ඔබට පහසුම ප්‍රතිපදාවකින් ගෘතම බුද්ධ සාසනයේ උතුම් නිවන් මගටම හේතු වාසනා වෙවා!

    ReplyDelete

ඔබේ ටීකාව පහතින් සටහන් කරන්න